පසුගියදා තම බැතිමතුන් දහස් ගණනක් සිටි සභාවක් ඉදිරියේ බුදුන්ට අපහාස කරමින් බුදුන් වහන්සේට පවා ජේසුස් වහන්සේ අවශ්‍ය බව පවසමින් ස්වයං ප්‍රකාශිත ප්‍රොෆට් ජෙරොම් ප්‍රනාන්දු සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වා ඇත.
සඳුදා (මැයි 15) උදෑසන පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී ජාතික ආරක්ෂක ප්‍රධානියා විසින් බුද්ධාගමට එරෙහිව දේවගැතිවරයාගේ විවේචනාත්මක ප්‍රකාශයන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරමින් මෙය රට තුළ වාර්ගික ආතතියක් ඇති කළ හැකි බව පෙන්වා දී ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ රට අස්ථාවර කිරීමට කිසිදු පුද්ගලයෙකුට ඉඩ නොතබන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආගමික අසමගිය ඇති කරන අය සම්බන්ධයෙන් සොයා බලා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ප්‍රකාශ කළ බවයි.
ජෙරම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ මෙන්ම ඔහුගේ අතීත දේශනා පිළිබඳවද සොයා බලන ලෙස ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී ඇති අතර ආරක්‍ෂක අංශ ප‍්‍රධානියා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියාට පරීක්‍ෂණ භාර දී දේවගැති ජෙරොම් ප‍්‍රනාන්දුට එරෙහිව පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙසට ඉල්ලා සිට ඇත.
පසුගිය සති අන්තයේ, ජෙරම් බුදුරජාණන් වහන්සේට සහ බුද්ධාගමට එරෙහිව දේශනා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරිසැරූ අතර, එයින් බෞද්ධයන් අතර කැළඹීමක් ඇති කර තිබූ අතර, ඔහුගේ අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඉල්ලා තිබුණි.
ජෙරොම් ප්‍රනාන්දු පසුගිය මාස කිහිපය තුළ විශාල ආගමික උත්සව පවත්වා ඇති අතර ඒ සඳහා ඔහුට අරමුදල් ලැබී ඇති මූලාශ්‍ර පිළිබඳව ද බොහෝ දෙනා ප්‍රශ්න කර ඇත.
