Advertise with Giraya
NEWS

කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය – ප්‍රධාන සැකකරු හික්කඩුවේ දී අත්අඩංගුවට

කළුතර සිරිකුරුස හංදිය ප්‍රදේශය ලැගුම්හලක් අසල දුම්රිය මාර්ගය අසල දී සොයාගත් නිරුවත් මෘත දේහය සම්බන්ධ විමර්ශනවලට අදාළව පොලීසිය විසින් හඳුනාගෙන සිටි ප්‍රධාන සැකකරු හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක දී මැයි 09 දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 හැවිරිදි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද වැටලීමක් අතරතුරයි. මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව පොලීසිය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට ඉල්ලීමක් සිදුකරන බව කළුතර පොලිසිය සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව මෙතෙක් සිදුකරන ලද විමර්ශන අනුව මරණකාරිය කළුතර පදිංචි කළුතර පාසලස 11 වැනි වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවියක් බවට අනාවරණය කරගෙන තිබෙන අතර මෘත දේහය සොයා ගත් ස්ථානය අසල පිහිටි ලැගුම්හලකට තවත් තිදෙනෙකු සමග මැයි 06 දින රාත්‍රියේ පැමිණ ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

Giraya News Alerts

ඒ අනුව, එහි පැවති සීසීටීවී දර්ශන සහ අදාළ හෝටලයේ සේවකයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ පැමිණ සිටි අනෙක් පිරිස අතර 29 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ 22 හැවිරිදි තවත් තරුණයෙකු සහ 19 හැවිරිදි තවත් තරුණියක ද වන බවයි. මරණකාරිය වෙනුවෙන් හෝටලය වෙත ඉදිරිපත් කර ඇත්තේ 21 හැවිරිදි වෙනත් තරුණියකගේ හැදුනුම්පතක් බව ද මෙහිදී සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය සිදුවූ දින රාත්‍රී 9.30 පමණ වනවිට 22 හැවිරිදි තරුණයා සහ 19 හැවිරිදි අනෙක් තරුණිය පොලීසිය වෙත පැමිණ භාර වී ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති කරුණු, හෝටල් සේවකයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්, 16 හැවිරිදි සිසුවියගේ නිවැසියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් සහ හෝටලයේ සීසීටීවී දර්ශන අනුව සොයාගෙන ඇත්තේ 16 හැවිරිදි සිසුවිය සහ 19 හැවිරිදි සිසුවිය එකම පාසලේ ඉගෙනුම ලබන බවත්, 29 හැවිරිදි පුද්ගලයා සහ 16 හැවිරිදි සිසුවිය අතරත් 22 හැවිරිදි තරුණයා සහ 19 හැවිරිදි තරුණිය අතරත් ප්‍රේම සබඳතා ඇති බවයි. ඒ අනුව, 19 හැවිරිදි සිසුවිය විසින් 16 හැවිරිදි සිසුවියගේ නිවසට පැමිණ ඇයව එක්කරගෙන ගොස් ඇති බවත් 16 හැවිරිදි සිසුවිය දන්සැල් යන බව නිවසට පවසා ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව පිරිස මෝටර් රථයකින් සිරිකුරුස හංදිය ප්‍රදේශයේ හෝටලයට පස්වරු 06.30ට පමණ පැමිණ ඇති බවත්, කාමර දෙකක් වෙන් කරවාගෙන ඇති බවත්, පසුව එම පිරිස එක් කාමරයක සිට මත්පැන් පානය කොට ඇති බවත්, පසුව 22 හැවිරිදි තරුණයා සහ 19 හැවිරිදි තරුණිය වෙනත් කාමරයකට ගොස් සිට ඇති බවත්, මරණකාරිය සහ 29 හැවිරිදි පුද්ගලයා අනෙක් කාමරයේ සිට ඇති බවත් පොලීසිය පවසනවා. පසුව අනෙක් යුවල හෝටලයෙන් පිට වී තිබෙන අතර ඊට යම් වේලාවකට පසුව 29 හැවිරිදි පුද්ගලයා ද හෝටලයෙන් පිටත් වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පසුව එම හෝටලයට පැමිණි වෙනත් අයෙකු ඊට යාබද දුම්රිය මාර්ගයේ නිරුවත් කාන්තා මල සිරුරක් ඇති බවට කළ දැනුම් දීම මත හෝටල් සේවකයින් පොලීසිය දැනුවත් කර තිබෙනවා. පොලිසිය පැමිණෙන විටත් ඇය මියගොස් සිට ඇති බව පොලීසිය පවසනවා.

පසුව එදිනම 9.30ට පමණ පොලීසියට භාර වූ යුවල පවසා ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයා තමන්ට ඇමතුමක් දී 16 හැවිරිදි තරුණිය කාමරයෙන් දුම්රිය මාර්ගයට ඇද වැටුනු බව පැවසූ බවයි. ඒ අනුව ඔවුන් දෙදෙනා එහි ගොස් සිසුවියගේ දේහය දුම්රිය මාර්ගයෙන් ඉවතට දමා ගොස් පොලීසියට භාර වූ බව සඳහන් කර ඇති අතර 29 හැවිරිදි පුද්ගලයා සැඟව සිටි බව පොලීසිය පවසනවා.

මරණකාරිය සම්බන්ධයෙන් කළ මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර මරණකාරියගේ පාදයක සහ පපුවේ දත් පහරවල් ඇති බව සටහන් කර තිබෙනවා. වැඩි දුර පරීක්ෂණ සඳහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කොට තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මරණය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක් ද අනතුරක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නොමැති බවත්, මරණකාරිය සමග හෝටල් කාමරයේ රැඳී සිට ඇති බව දැනට සොයාගෙන ඇති ප්‍රධාන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු තවත් තොරතුරු අනාවරණය කරගත හැකි බවත් පොලීසිය පවසනවා.

එසේම මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ප්‍රමාණය 4 දෙනෙකු වන අතර සිද්ධියට අදාල අනෙක් යුවල සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සටහන – මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිස සැකකරුවන් පමණක් වන බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද්වේශය ඇතිවන ආකාරයේ පුවත් සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඇතුළු බොහෝ තැන්වල පළ වී ඇති බවත් නිරීක්ෂණය වේ. නමුත් මෙම සිදුවීම ඝාතනයක් ද, සිය දිවි නසා ගැනීමක් ද අනතුරක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර අධිකරණය මගින් එය තීරණය කරන තෙක් සැකකරුවන් සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට එළැඹීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමු. මීට පෙර රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ පුවතක් වූ සිගිතියක ඝාතනය වූ අවස්ථාවේ එක් සැකකරුවෙකු එය සිදුකළ බවට පාපොච්චාරණයක් කළ බවට පොලීසියෙන් කළ ප්‍රකාශ කළ ද පසුව ඩීඑන්ඒ සාක්ෂි අනුව එම අපරාධය සිදුකර තිබුණේ වෙනත් අයෙකු විසින් බව පසුව අනාවරණය විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top