හඳුනා නොගත් රෝගීන් එළිමහනේ සැරිසරන බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංචරණය සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි.
බස්නාහිර පළාතේ සහ වයඹ පළාතේ කොරෝනා අවදානම ඉහළ යමින් පවතින බව ද දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගෙන් බහුතරය තරුණ පිරිස් බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, පුත්තලම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහිදී, අදහස් දක්වමින් සභාපතිවරයා, ‘ඊයේ දින දත්ත අනුව විශේෂයෙන්ම ලංකාවේ තවදුරටත් බස්නාහිර පළාතේ අවදානම ඉතාම ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම වයඹ පළාතේ අවදානම ඒ විදියටම වර්ධනය වෙමින් තියෙනවා. ඒ වගේම අපිට විශේෂ කාරණා කිහිපයක් අනාවරණය වෙනවා ආසාදිතයෝ දිහා බැලුවාම. තරුණ අයවලුන් අතර ආසාදිතයෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එක. අපිට වාර්තා වෙන ආසාදිතයින්ගෙන් ඉතාම ඉහළ ප්‍රතිශතයක් තරුණ අය.
ඒ වගේම, එක ආසාදිතයෙකුගෙන් පැතිරුණු සංඛ්‍යාව ඉතාම වැඩියි. පසුගිය රැළි දෙකේදීම අපි මේ තත්ත්වය දැක්කේ නැ. නමුත් මේ රැල්ලේ දී විශේෂයෙන්ම එක් ආසාදිතයෙකුගෙන් තවත් ආසාදිතයෙකුට, ඒ නිවසේ පස්දෙනා හෝ හය දෙනා වැනි විශාල සංඛ්‍යාවකට රෝගය පැතිරෙනවා කියලා පේන්න තියෙනවා.
ඒ වගේම විශේෂඥයෝ ප්‍රකාශ කරලා තියෙන මත හැටියට දැනට වාතය මඟින් බෝ විය හැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියන මේ කරුණුවලින් අනාවරණය වෙලා තියෙනවා. ඒ නිසා දැන් පවතින තත්ත්වය ලංකාවේ ඉතාම අවදානම් කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් රෝගීන් ඉහළ යාමේ අවදානමක් තියෙනවා.
ඒ වගේම මේ සති අන්තය ඉතාමත් අවදානම්. දැනට පවතින රෝගීන් නොයෙකුත් ප්‍රදේශවල අපි හඳුනානොගත් රෝගීන් එළිමහනේ සැරිසරනවා. මේ රෝගීන්ගෙන් ඔබට ඔබේ පවුලේ අයට රෝගය බෝ වීමේ හැකියාව තියෙනවා. මේ නිසා අවදානම වළක්වා ගැනීමට දැනට සංචරණ නීති හෝ යම් රට අගුළු දැමීමක් කර නොමැති නිසා මේ අවදානම වළක්වා ගැනීමේ හැකියාව සියයට සීයයක්ම තියෙන්නේ පොදු මහජනතාව අතේ. ඔවුන් අතින් අලුත් අවුරුදු උත්සව සමයේ වගේ ගිලිහුනොත් ඉතාම නරක තැනකට, ඉතාම අවදානම් තැනකට ඉදිරි සති දෙක තුළ තල්ලු වී යා හැකි බව පැහැදිලියි.”යනුවෙන් පැවසුවා.
