මරදාන සංඝරාජ මාවතේ පිහිටි ආපනශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ ආපනශාලාවේ සේවය කළ 45 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහලේ පොලිස් ඒකකය සඳහන් කරයි. ආපනශාලාවේ මුළුතැන්ගෙයි පිහිටි ගෑස් ටැංකියක් පිපිරීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.
අද (24) උදෑසන මෙම ගින්න හටගෙන ඇති අතර ගිනි නිවීම් රථ 5ක් යොදා ගනිමින් ගින්න පාලනයට කටයුතු කරමින් පවතින බව පොලීසිය සඳහන් කරයි.
ගින්නේ වෙනත් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ වෙනත් හානියක් සිදුව නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
