සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කෙසෙල්වත්තේ දිනුකගේ බවට සැක කෙරෙන මෘත ශරීරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ගුවනින් මෙරටට ගෙන්වා ඇති අතර අදාළ මෘත දේහය භාර ගැනීමට පැමිණි කාන්තාවට අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණය අද (19) දිනයේ දී සිදු කරන බව පොලීසිය පවසනවා.
ඒ මඟින් අදාළ සිරුර කෙසෙල්වත්තේ දිනුකගේ බවට තහවුරු කර ගැනීමට නියමිත බවයි පොලීසිය සඳහන් කරන්නේ. පරීක්ෂණ වාර්තාවන් ලැබීමෙන් අනතුරුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා මෘත දේහය ඥාතින්ට භාර දීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ‘ඊයේ දහවල් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් යම් පුද්ගලයෙකුගේ මළ සිරුරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට රැගෙන එනු ලැබුවා.
මෙය රැගෙන එන ලද්දේ කෙසෙල්වත්තේ දිනුක නමැති අපරාධකරුගේ මළ සිරුර බවටයි සැකකරන්නේ. කෙසේවෙතත්, එම පුද්ගලයාගේ මෘත ශරීරය වෙනත් අයෙකුගේ නමින් රැගෙන ආ බවටයි වාර්තා වුනේ.
විශේෂයෙන්ම මෙම සැකකරු සිදු කළ අපරාධ ගණනාවක් අධිකරණවල බහා තබා තිබෙනවා. එම නඩු අවසන් කිරීම සඳහා සත්‍ය වශයෙන්ම මිය යන ලද්දේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු ලෙස කටයුතු කරන ලද රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් නමැති පුද්ගලයා ද යන්න පිළිබඳව නිසැකවම සනාථ කර ගැනීමට අවශ්‍යයි.
කෙසේවෙතත්, මෘත ශරීරය ලැබී තිබුනේ රාජපක්ෂ කසුන් මදුරංග නමැති පුද්ගලයෙක් සම්බන්ධයෙන්. ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මෙම මෘත ශරීරයෙන් සහ මෙම මෘත ශරීරය ගෙන එන ලද තැනැත්තියගේ සාම්පල් ලබා ගැනීමට නියමිතයි. ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සඳහා. විශේෂයෙන්ම ඇය මව බවට සැක කෙරෙනවා.
මීට අමතරව පොලිස් අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීන් විසින් ශරීරයේ ඇඟිළි සලකුණු ලබා ගැනීමට නියමිතයි. මොහු මෙරටින් පිට වීමට පෙර අපරාධකරුවෙකු ලෙස ලබා ගත් ඇඟිළි සලකුණු අප භාරයේ තිබෙනවා. ඒවා සමඟ සැසඳීමටත් නියමිතව තිබෙනවා. ඒ අනුව තහවුරු කර ගැනීමකින් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙම සිරුර භාර දීමට නියමිතව තිබෙනවා.” යැයි පැවසුවා.
