වේල්ලවීදියේ මාර්ගය අසල ගමන් මල්ලක දමා ගොස් තිබිය දී හමු වූ කාන්තා මළ සිරුරේ හිස ඝාතක උප පොලිස් පරීක්ෂකවරයා විසින් එම කාන්තාවගේ ගමන් බෑගයේ දමා කැළණි ගඟට වීසි කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඒ අනුව, අද (04) පස්වරුවේ සිට පොලීසිය විසින් කැළණි ගඟේ ඉවුරු පරීක්ෂා කරමින් විශේෂ මෙහෙයුමක් පොලිස් නාවුක කොට්ඨාශයේ නිලධාරීන් විසින් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
ඒ සම්බන්ධව තොරතුරු සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා’පසුගිය පළමුවැනිදා හිස නැති මළ සිරුරක් වේල්ලවීදිය ප්‍රදේශයෙන් හමු වුනා. ඇයගේ මව සහ ඥාතීන්ගේ ඩී.එන්.ඒ. සාම්පල අද දිනත් ලබා ගත්තා. මීට අමතරව මෙම කාන්තාව විසින් නිවසින් රැගෙන ආ ඒ වගේම ඇය විසින් භාවිතා කළ බෑගයක් පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා. එම බෑගය මෙතෙක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නෑ.
එක් බෑගයක් මොහු මිලදී ගෙන එහි කාන්තාවගේ සිරුර තැන්පත් කළා. අනෙක් බෑගය මොහු කරේ දමාගෙන යන ස්වරූපයක් දක්නට ලැබෙනවා. නමුත් කාන්තාවගේ බෑගය මෙතෙක් හමු වී නැහැ. මෙම යුවළ නැවතී සිටි නවාතැන්පොළ පිහිටා තිබෙන්නේ හංවැල්ල – කොළඹ මාර්ගයේ කැළණි ගඟ ආසන්න ප්‍රදේශයක. යම් හෙයකින් මෙම කාන්තාවගේ හිස කැළණි ගඟට කාන්තාවගේ බෑගයේ දමා විසි කරන්නට ඇත්දැයි සැකයක් මතුවෙනවා. කෙසේ වෙතත් මෙය සැකයක් පමණයි. තහවුරු වී නැහැ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් අද දින සවස 3ට ආරම්භ කළා. පොලිස් නාවුක කොට්ඨාශ නිලධාරීන් මඟින් මේ පරීක්ෂාව සිදු කරන්නේ. කැළණි ගඟේ ඉවුරු සහ ඒ ආශ්‍රිතව යම් බෑගයක් රැඳී තිබේදැයි, එහෙමත් නැත්නම් බෑගයක් පාවෙමින් තිබේදැයි පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. පොලිස් නාවුක කොට්ඨාශයේ බෝට්ටු දෙකක නිලධාරීන් අට දෙනෙක් පමණ මේ සම්බන්ධ රාජකාරියේ මේ අවස්ථාව වන විට එම මෙහෙයුම සිදු කරනු ලබනවා. තවදුරටත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලබනවා.’ යනුවෙන් පැවසුවා.
