අමනුශ්ය දෝෂයක් ඇති බව පවසා ප්‍රතිකාර සඳහා රැගෙන ගිය නව හැවිරිදි දැරියකට අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාව විසින් වේවැලකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මීගහවත්ත කදුබොඩ ප්‍රදේශයේ පදිංචිවී සිටි දැරියක් වන අතර ඇගේ මව විසින් මෙම දැරිය අමනුෂ්‍ය රෝගයකින් පෙළෙන බවට හඳුනාගෙන දැරියට තෙල් සාත්තුවක් සිදු කිරීම සදහා අදාළ ස්ථානයට රැගෙනගොස් තිබෙනවා.
අනතුරුව වේවැලකින් පහර කෑම හමුවේ සිහිසුන් වූ දැරිය බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මේ වනවිට, අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
‘මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ ඉතාම අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වී තිබෙන්නේ, මීගහවත්ත, දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ. නව හැවිරිදි දැරියක් යම් අමනුෂ්‍ය රෝගයකින් පෙළෙන බවට ඇගේ මව විසින් දැන ගැනීමෙන් අනතුරුව එයට ප්‍රතිකාර ලබා දීම සඳහා තම නිවසට ආසන්න නිවසක පිහිටි එවැනි දේ සඳහා ප්‍රතිකාර කරන නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා.
ඒ අවස්ථාවේ දී අදාළ නිවසේ සිටි මෙවැනි අමනුෂ්‍ය රෝග සඳහා ප්‍රතිකාර කරන කාන්තාව විසින් මෙම දැරියට තෙල් සාත්තුවක් සිදු කර ඇති බවට වාර්තා වෙනවා. ඉන්පසුව මෙම අමනුෂ්‍ය දෝෂය දුරුවීම සඳහා වේවැලකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අවස්ථාවේදී දැරිය සිහිසුන් තත්ත්වයට පත් වී තිබෙනවා. ඉන්පසුව රාත්‍රියේ දී බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ දැරිය මියගොස් ඇති බවයි.
එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව සැමදෙනාම විමසිල්ලෙන් පසුවිය යුතුයි. අදාළ වේවැල් පහර දී ඇති කාන්තාව පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීගහවත්ත පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
