පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති සිසුවෙකු වන මිගාර ගුණරත්න හට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රි ගුණරත්නගේ පුත්‍රයා වන මිගාර ගුණරත්න නීති විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු වන අතර පහරකෑමට ලක්ව ඔහු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුනා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අද (26) කරුනු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.
මුදල් වංචාවක් ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා සිටි කාන්තාවක හමුවීම සඳහා මිගාර ගුණරත්න යන අය පැමිණ ඇති බවත් එම අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් හේතුවෙන් එම පුද්ගලයා තුවාල ලබා ඇති බවත් පොලිස් මූලස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝගයකට අනුව පොලිස් කන්ඩායම් දෙකක් විමර්ශන සිදුකරන අතර එම විමර්ශනයට අනුව එම නිලධාරින් සිව් දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
තවදුරටත් පරික්ෂණ සිදුකෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් පවත්වා ඉදිරි පියවර ගැනීමට නියමිත බවද පොලිස් මූලස්ථානය සඳහන් කළා.
සම්බන්ධිත පුවත්
