Advertise with Giraya
NEWS

සහරාන්ගේ පන්ති වලට සහභාගී වූ කාන්තාවන් 15ක් ගැන තොරතුරු එළියට

පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද සහරාන් හෂීම්ගේ පන්තිවලට සහභාගී වූ මාවනැල්ලේ පදිංචි 24 හැවිරිදි තරුණියක් පසුගියදා අත්අඩංගුවට පත් විය. ඇයගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ අදාළ පන්ති සඳහා කාන්තාවන් 15 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ පැවසුවේ අදාළ කාන්තාවන් 15 දෙනාගෙන් 05 දෙනෙකු සයින්දමරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමේදී මිය ගොස් ඇති බවයි.

‘පාස්කු ප්‍රහාරයේ මුග්ධ අපරාධකරු වන සහරාන් හෂීම් විසින් පවත්වාගෙන ගිය අන්තවාදී ඉගැන්වීම් පන්තිවලට සහභාගී වූ 24 හැවිරිදි තැනැත්තියක් පෙරේදා දිනයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය මොහොමඩ් ඊබ්‍රහීම් ෂහීඩා නමැති 24 හැවිරිදි කාන්තාවක්. ඇය මාවනැල්ලේ හිඟුල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඇයගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී තිබෙනවා මෙම සහරාන් හෂීම් විසින් මෙම 2018 දෙසැම්බර් මාසයේ දී පවත්වන ලද අදාළ ඉගැන්වීම් පන්ති සඳහා කාන්තාවන් 15 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවට මෙම කාන්තාවන්ගෙන් 05 දෙනෙක් සයින්දමරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමේ දී මිය ගියා. ඒ වගේම, තවත් කාන්තාවන් තිදෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඊට අමතරව, පෙරේදා දිනයේ දි අත්අඩංගුවට ගත් කාන්තාව ද සමඟ තවත් කාන්තාවන් 07 දෙනෙක් දැනට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවෙනවා.’

එමෙන්ම, අදාළ ඉගැන්වීම් අවසානයේ දී මෙම කාන්තාවන් විසින් ලබා දෙන ලද ‘බයිඅත්’ නමැති දිවුරුමක් සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා.

‘එමෙන්ම, මෙහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම පන්ති සඳහා සහභාගී වීමෙන් අනතුරුව මෙම කාන්තාවන් විසින් ‘බයිඅත්’ නමැති දිවුරුම ලබාගෙන ඇති බව සහරාන් හෂීම් නමැති අපරාධකරු විසින්. ‘බයිඅත්’ දිවුරුමේ සඳහන් වන්නේ ඕනෑම මොහොතක මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා ඔවුන් සූදානමින් සිටින බවයි.

කෙසේවෙතත්, මෙයින් පස්දෙනෙකු සයින්දමරුදු ප්‍රදේශයේ දී පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇති වූ සිදුවීමක දී මිය ගියා. ඊට අමතරව දැනට බන්ධනාගාරගතව සැකකාරියන් තිදෙනෙක් සිටින අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සැකකාරියන් 07 දෙනෙකු ඇතුළු 10 දෙනෙක් බන්ධනාගාරයේ සහ පොලිස් භාරයේ පසුවෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනු ලබනවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින්. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පූර්ව විමර්ශන පැවැත්වෙන අතර සමගාමී අනෙකුත් විමර්ශන ද අඛණ්ඩව මේ ආකාරයට සිදු කරනු ලබනවා.’

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top