මෙරටදී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍ය කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත වූ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
එලෙස හඳුනාගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකු මේ වන විටත් යුද හමුදාවේ පාලනය යටතේ තිබෙන පොම්පෙමඩු සහ මුලංකාවිල් යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් බවත් අනෙක් තිදෙනාගෙන් එක් අයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් සහ තවත් අයෙකු කොළඹ හැව්ලොක් සිටි හි පිහිටි ඉදිකිරීම් වැඩබිමකින් හමු වූ කොවිඩ් ආසාදිතයෙකු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ පර්යේෂණයකදී එම බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 16 දෙනෙකු මෙරටින් සොයා ගැනීමට හැකිව තිබෙනවා. ඒ ඉකුත් ජනවාරි මස 26 වන දිනට පසුව ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකුගේ සිදු කළ ජානමය පරික්ෂාවක් මගින් ය. යුද හමුදාපතිවරයා පැවසුවේ මේ දක්වා මෙරටින් කොවිඩ් ප්‍රභේද 26ක් හඳුනා ගෙන ඇකි බවයි.
මෙම පිරිස ඇසුරු කළ පුද්ගලයින් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න වග සොයාගෙන ඔවුන් මේ වන විටත් නිරෝධායනය කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සදහන් කළා.
එමෙන්ම, දැනට මෙම ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් ආසාදිතයින් දින 14ත නිරෝධායන ක්‍රියාවලියක් වෙනුවට ඔවුන් දින 21ක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කොට ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ සිදු කරන ලබන බව ද හමුදාපතිවරයා පැවසුවා.
මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සහ රටේ ඉදිරි කටයුතු කෙසේ සිදුවය යුතු ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුව ඇති තාක්ෂණික කමිටුව සහ කොවිඩ් මර්දන ක්රිියාවලිය සම්බන්ධයෙන් පත් කර ඇති ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සම්බන්ධ විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කරුණු සොයා බලා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කොට අද හෝ හෙට දිනයේ දී තීරණයක් ගන්නා බවය ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි
