Advertise with Giraya
FEATURES

ලොව ම කතා කරන ෆයිසර් එන්නත හැදූ අඹුසැමි යුවළ

2020 ජනවාරියේ බටහිර රටවල අවධානය යොමු වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තිය ආරම්භ කළ නව වයිරසය ගැනය. ඒත් කවුරුත් නොදන්න කරුණ වූයේ ඒ වනවිටත්, ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කරන වයිරසයක් ව්‍යාප්ත වුවහොත් ඊට මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න අවබෝධ කර ගනිමින්, දුරදක්නා නුවණින්, වයිරස අඩපණ කිරීමේ ක්‍රමවේදයකට අඹුසැමි යුවළක් අත ගසා තිබුණි.

අද ලොව හදිසි භාවිතයට ගන්නා ‘ෆයිසර්’ එන්නත නිර්මාණයේ පුරෝගාමීන් වන්නේ ඔවුන්ය. ඔවුන්ගෙන් එක් අයකු ආචාර්ය ඕ ෂහීන් ය. ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගමේ ප්‍රධානියා ඔහුය. ඔහුගේ බිරිද ආචාර්ය ඔස්ලෙම් ටුරේසි ය. ඇය ‘බයෝඇන්ටෙක්’ සමාගමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාය.

ඕ ෂහීන් සහ ඔස්ලෙම් ටුරේසි ආර්.එන්.ඒ. ප්‍රවේණි ද්‍රව්‍යය ක්‍රියාකරන ආකාරය සොයා ගත්හ. ඒ අනුව, එම්.ආර්.එන්.ඒ. නමින්, ආර්.එන්.ඒ. වෙනස් කිරීමට උපදෙස් ලබා දිය හැකි ක්‍රමවේදයක් සකස් කළේය. පසුව ෆයිසර් එන්නත නිර්මාණයට හේතු වූයේ මෙම ක්‍රමයයි. ආර්.එන්.ඒ. ගැන ඉතා කෙටියෙන් සහ සරලව පැහැදිලි කළොත්, එය සියලුම සජීවී සෛලවල ඇති නියුක්ලියැක් අම්ලයයි. මෙහි ප්‍රධාන කාර්යය ඩී.එන්.ඒ. වලින් ලැබෙන උපදෙස් මත ප්‍රෝටීන් සංස්ලේෂණය පාලනයයි. ඇතැම් වයිරසවලදී ජානමය තොරතුරු ඇත්තේ ඩී.එන්.ඒ.වලට වඩා ආර්.එන්.ඒ තුළය. එම්.ආර්.එන්.ඒ. යනු පණිවුඩ ගෙන යන ආර්.එන්.ඒ. විශේෂයකි.

ඕ ෂහීන් සහ ඔස්ලෙම් ටුරේසි දෙදෙනා නිර්මාණය කර ඇත්තේ, වයිරස නැසීමට බැක්ටීරියා යොදා ගන්නා ක්‍රමවේදයකි. වයිරස සමඟ සටන් කරද්දී බැක්ටීරියා ඩී.එන්.ඒ. වෙනස් කර ගැනීමක් ද සිදුවෙයි. එමගින් වයිරසයට පහරදී විනාශකර දැමීමට බැක්ටීරියාව වෙනස් වෙයි. දරුණු වයිරසයට එරෙහිව සටන්වැදීමට බැක්ටීරියාව ආර්.එන්.ඒ විශේෂ උපක්‍රම භාවිතයට ගනී. ෆයිසර් එන්නතේ දී සිදුවන්නේ සැබෑ ‘කොවිඩ් 19’ වයිරසයේ කොටසක් සිරුරට විදීමය. සිරුරේ ප්‍රතිශක්තිය ඒ අනුව සිදුවෙයි. ඇමෙරිකාවේ ‘මොඩර්නා’ සමාගම නිපදවූ එන්නත මගින් සිදුවන්නේ ද මෙවැන්නකි.

2020 මාර්තු මාසය වනවිට එන්නතේ මූලික කටයුතු අවසන් වී තිබුණි. ආචාර්ය ඔස්ලෙම් ටුරේසි ඒ බව, ඇමෙරිකාවේ පිහිටි, ‘බයෝඇන්ටෙක්’ සමාගමේ හවුල්කාර ඖෂධ පර්යේෂණ සහ නිෂ්පාදන සමාගම වන ‘ෆයිසර්’ට දැනුම් දුන්නේය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ රජයේ ද සහාය ඇතිව, ‘ෆයිසර්’ සමාගම, ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වී ‘ෆයිසර්’ එන්නත නිපදවීම ඒ අනුව සිදුවිය.

ඒ වසරකටත් වඩා අඩු කාලයකදීය. ධුරයෙන් සමුගෙන ගිය ජනාධිපති ට්‍රම්ප් අවසන් වරට ජාතිය අමතමින් ‘ෆයිසර්’ එන්නත ගැන අදහස් දැක්වීමක් කළේය. ඒ එන්නත නිපදවීම ප්‍රාතිහාර්යයක් බව පවසමින්. එය සැබෑවකි. සියයට 95 ක් සාර්ථක යැයි පැවැසෙන ‘ෆයිසර්’ එන්නත වෛද්‍ය විද්‍යාවේ ප්‍රාතිහාර්යයකි.

ආචාර්ය ඕ ෂහීන් හෝ බිරිඳ ඔස්ලෙම් ටුරේසි හෝ ‘බයෝඇන්ටෙක්’ සමාගම පිහිටුවා ඇත්තේ එන්නත් නිපදවන සමාගමක් ලෙස නොව, ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර සමාගමක් ලෙසය. ‘බයෝඇන්ටෙක්’ සමාගම පිහිටුවීම කළේ පියයුරු පිළිකා නැසීමේ ක්‍රමවේදයක් සකස් කිරීමටය. ‘කොවිඩ් 19’ සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් නිර්මාණය වූයේ එහි අතුරුඵලයක් ලෙසය.

මේ අතර අසාත්මිකතා ඇතිනම් දැනට ලබා දෙන ‘ෆයිසර්‘ එන්නත හෝ වෙන කිසිදු එන්නතක් හෝ ලබා ගැනීමෙන් වැළැකී සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු අනතුරු අඟවති. ඒ, එන්නත ලබා ගැනීමෙන් පසු නෝර්වේ රාජ්‍යයේ 23 දෙනකු මියයෑමේ සිදුවීම හේතුවෙනි.

‘කොවිඩ් 19‘ වයිරස වසංගත ය සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කමිටුවට සම්බන්ධ වී සිටින විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ අනතුරු ඇඟවීමක් කළේ ‘කොවිඩ් 19’ වයිරසය වළක්වන ප්‍රති ශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බියක්සහ සැකයක් පැතිරීම නියා යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. ‘කොවිඩ් 19’ වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් අතුරින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු පළමු එන්නත වන්නේ ද මෙම ‘ෆයිසර්’ එන්නතය.

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගනිද්දී, අසාත්මිකතා ඇති නම්, වෙනත් බෝ නොවන රෝගීතත්ත්වයන් ඇතිනම් ඒ බව වෛද්‍යවරුන්ට හෝ හෙදියන්ට දැනුම් දීම කළ යුතු බවත්, එන්නත ලබා ගැනීමෙන් පසු මිනිත්තු 30 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින්නේ නම්, එය වඩාත් සුදුසු බවත්, ‘කොවිඩ් 19’ වයිරස වසංගත ය සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කමිටුවට සම්බන්ධ වී සිටින විශේෂඥ වෛද්‍යවරු පැහැදිලි කරති.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, කොරෝනා නමින් හැඳින්වෙන වයිරස පවුලේ අලු‍ත්ම සාමාජිකයා ය. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන වයිරසයකි. ‘කොවිඩ් 19’ නව කොරෝනා වයිරසය වවුලන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන්න ඇත්තේ අතරමැදි සත්වයකු හරහා බව අනුමාන කෙරේ.

එම අතරමැදියා කබල්ලෑවා යැයි ද සැකයක් පවතී. සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමෙන් පසුවයි රසය ඉවක් බවක් නොමැතිව මිනිසුන් අතරේ පැතිරෙන්නේ විකෘති වීමෙනි. චීනයේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව කෙමෙන් පහළ යද්දී, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේ වයිරසය දරුණු ලෙස පැතිරෙයි. අද චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ ඇමෙරිකාවෙනි.

වයිරස යනු පියවි ඇසට නොපෙනෙන, බැක්ටීරියාවලටත් වඩා ඉතා කුඩා, රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් විශේෂයකි. ලතින් බසින් ‘වයිරස්’ යනු විෂ යන අදහසය. පණ ඇති බැක්ටීරියා මෙන් නොව, වයිරසවල ස්වභාවය වෙනස්ය. අප අවට පරිසරයේ වයිරස ඇත්තේ අජීවී දෙයක් ලෙසය. කිසියම් ජීවියකුගේ (සතකුගේ හෝ මනුෂ්‍යයාගේ) සිරුරට ඇතුළු (ආසාදනය) වූ විට වයිරස පණ ඇති දෙයක් බවට පත් වෙයි. දිලීර සහ බැක්ටීරියා පවා ආසාදනය කිරීමට වයිරසවලට හැකියාව ඇත.

1892 වසරෙන් පසු මේ වන විට වයිරස වර්ග 5,000 කට වඩා සොයාගෙන ඇත. ඊට අමතරව, හඳුනා නොගත් වයිරස විශේෂ මිලියන ගණනක් තිබෙන බව විද්‍යාඥයෝ කියති. වයිරස න්‍යෂ්ටියේ අම්ල සංයුතියට අනුව ඒවා ප්‍රධාන වශයෙන් ඩීඑන්ඒ සහ ආර්එන්ඒ වර්ග දෙකකි. පැපොල, සරම්ප, වසූරිය ආදිය ඩී.එන්.ඒ. වයිරස වෙයි. ඩෙංගු, ඉන්ෆ්ලු‍වන්සා ආදිය ආර්.එන්.ඒ. වයිරස වෙයි.

රටවල් 6 ක, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවන් අතරින්, 43,500 ක පිරිසක් තෝරා ගනිමින්, ෆයිසර් එන්නත පළමුවෙන් අත්හදාබැලීම සිදුවිය. එය සාර්ථක විය. ෆයිසර් එන්නත ඇමෙරිකාවේ, ජර්මනියේ, දකුණු අප්‍රිකාවේ, තුර්කියේ, ආජන්ටිනාවේ සහ බ්‍රසීලයේ දී අත්හදා බැලීම් සිදුකර ඇත.

එන්නත මාත්‍රා දෙකකින් සමන්විතය. සති තුනක පරතරයක් යටතේ ඒවා ලබා දෙයි. අවසාන මාත්‍රාව ලබා දීමෙන් පසු ‘කොවිඩ් 19’ වයිරසයෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබේ. එන්නත නිපදවා ඇත්තේ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට පමණි. වයිරස ආසාදිතයන් සුවපත් කිරීමට නොවෙයි.

ලුසිත ජයමාන්න – ලංකාදීප

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top