Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

“කළු තුෂාරගෙ පුතා දකින දකින වාරයක් ගානේ මගේ හිතේ රංගජීව ගැන ඇති වුණේ පුදුමාකාර වෛරයක්” – මධූෂ්ගේ හඬ පටයකින් එළියට ආව කතාව

පාතාලයේ අග රජු ලෙස කිරුළ පැළඳ සිටි මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත මහල් නිවාසයක බිම් මහලේදී වෙඩි කා මිය ගියේය. මාකඳුරේ මධුෂ් ඝාතනය වීමට දින දෙකකට උඩදී ඔහු එක්තරා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු හමුවේ සිය අපරාධ චාරිකාවේ හෙළි නොකළ අභිරහස් රැසක් අනාවරණය කළේය. පැය හයක කාලයක් තිස්සේ මධුෂ් හෙළි කළ රහසිගත තොරතුරු බොහොමයකි. ‘දිවයින’ පුවත් පත විසින් මධුෂ් විසින් හෙළිකළ ඒ අභිරහස් තොරතුරු ඔස්සේ පළ කරන ලද ලිපියක් පහතින් දැක්වේ.

පොලිසිය පාතාල කණ්ඩායම්වලට ප‍්‍රහාර එල්ල කළ ද පාතාල කණ්ඩායම් පොලිස් නිලධාරීන්ට රැක සිට ප‍්‍රහාර එල්ල කළ අවස්ථා විරලය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉලක්ක කර මාකඳුරේ මධුෂ් මෙහෙයවූ පාතාල කල්ලිය පිළියන්දලදී ප‍්‍රහාරයක් එල්ල කළහ. මේ ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරියකුට සහ මහමඟ ගිය අහිංසක දැරියකට ජිවිත අහිමි වූහ.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඉලක්ක කර මේ ප‍්‍රහාරය එල්ල කර තිබුණේය. ප‍්‍රහාරයෙන් රංගජීව බරපතළ තුවාල ලබා දිවි ගලවා ගත්තේය. පොලිස් පරීක්‍ෂක රංගජීව ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කළ ආකාරය මාකඳුරේ මධුෂ් උසස් පොලිස් නිලධාරියා හමුවේ හෙළිකළේය. ‘‘කළු තුෂාරගෙ පුතා දකින දකින වාරයක් ගානේ මගේ හිතේ රංගජීව ගැන ඇති වුණේ පුදුමාකාර වෛරයක්‘‘කළු තුෂාර උගේ පුතාට පුදුමාකාර විදිහට ආදරේ කළා. ඒ පොඩි දරුවත් එහෙමයි. තුෂාරව මැරුවට පස්සේ ඒ අහිංසක දරුවා පුදුමාකාර විදිහට දුක්වුණා.’’

Giraya News Alerts

‘‘වැලිකඩදී 27 දෙනෙක් මැරුම් කෑවා. ඒ අතරෙ කළු තුෂාරත් හිටියා. කළු තුෂාරගෙ මරණෙට වගකියන්න ඕනෙ රංගජීව. ඒ වෛරය මගේ හිතේ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබුණා. රංගජීව අයින් කරලා දාන්න ඕනෙ කියලා ප්ලෑන් කරන්න ඔය සිද්ධියත් හේතු වුණා සර්…’’

මාකඳුරේ මධුෂ් අතීත සිදුවීම් මාලාවක් එකින් එක ආවර්ජනය කරන්න වුණේය. මධුෂ් උසස්පොලිස් නිලධාරියා දෙස එක එල්ලයේම බලා සිටියි.

ඝනව වැඞී තිබූ රැවුලෙන් මධුෂ්ගේ මුහුණේ හරි අඩක් වැසී ගොස් තිබුණේය. මධුෂ්ගේ කෙස් වැටිය ද ගෙල ප‍්‍රදේශය දක්වා දික්ව තිබිණි. බැලූ බැල්මට මධුෂ්ව පෙණුනේ හිමාලයේ භාවනායෝගීව සිටින බ‍්‍රාහ්මණයකු ලෙසය. වැලිකඩ බන්ධනාගාරයේදී මහා අපරාධකාරයන් 27 දෙනකු වෙඩිතබා ඝාතනයකරනු ලැබුවේ බන්ධනාගාරය තුළ ඇති වූ කැරැල්ලකින් පසුවය. මේ ඝාතන සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු වූ නියොමාල් රංගජීව ඇතුළු ආරක්‍ෂක අංශයේ සහ බන්ධනාගාරයේ නිලධාරීන් පිරිසක් වෙත චෝදනා එල්ල වී තිබුණේය. ඝාතනයට ලක් වු 27 දෙනා අතර කළු තුෂාර නමැති පාතාල නායකයා ද සිටියේය.

කළු තුෂාර සහ මාකඳුරේ මධුෂ් ගජ මිතුරන් ය. මත්ද්‍රව්‍ය ජාවාරම් පවා ඔවුන් එකට සිදුකළහ. කළු තුෂාර ඝාතනයට ලක් වීමෙන් පසු ඔහුගේ නීත්‍යනුකූල බිරිඳට ආදරය රැකවරණය ලබාදීමේ වගකීම භාර ගත්තේ මාකඳුරේ මධුෂ් ය. කළු තුෂාරගේ නීත්‍යනුකූල බිරිඳට මෙන්ම දරුවාට ද මධුෂ් දැඩි ලෙස ලෙන්ගතුව සිටියේය. තම පියා අහිමිවීමේ වේදනාවෙන් පීඩා විඳින තුෂාරගෙ පුත‍්‍රයා දකින දකින වාරයක් පාසා මධුෂ් පොලිස් පරීක්‍ෂක රංගජීවට සිතින් ශාප කළේය. මොහොතක් නිහඬව සිටි මාකඳුරේ මධුෂ් උසස් පොලිස් නිලධාරියාගේ තියුණු දෑස් දෙස බලා ගෙන නැවතත් කටහඬ අවදි කළේය. ‘‘සර්….. ලාලිත මගෙ හොඳම යාළුවෙක්. මට නැතිබැරි වෙලාවෙ ඔළුව උස්සන්න උදව් කළේ ලාලිත. ලාලිතයි මමයි අවුරුදු දෙක තුනක් වැලිකඩ ආණ්ඩුවේ බෝඩිමේ එකට හිටිය.

ඒ මීට අවුරුදු අටකට දහයකට උඩදී. ඒ කාලෙ වෙනකොට ලාලිතට ලොකු හයියක් තිබුණා. කුඩු බිස්නස් වලින් මිනිහා හොඳට සල්ලි හම්බ කළා. කුඩු ලාලිත කිව්වම වැලිකඩ ජේලර් මහත්තුරුත් සැලියටු ගහනවා.

ලාලිත වැලිකඩ හිටියත් කුඩු බිස්නස් එක ජයටම කරගෙන ගියා. නාකොටික් එකේ සමහර අයි. පී. මහත්තුරුත් ලාලිත එක්ක කුඩු බිස්නස් කළා.

වැලිකඩ ප‍්‍රිසන් එක ඇතුලෙ ඕනෙ තරම් කුඩු තිබ්බා. ඒ කාලෙ වැලිකඩට කුඩු ගෙන්නුවේ ලාලිත. සමහර ජේලර් මහත්තුරු පි‍්‍රසන් එක ඇතුළට කුඩු ගෙනත් දීලා ලාලිතගෙන් ලක්‍ෂ ගණන් සල්ලි ගත්තා. ඒ කාලෙ වෙනකොට මං හතේ හත වැදිල හිටියේ. අතේ සත පහක් නැහැ. සල්ලි කීයක් හරි දෙන්න එකෙක් හිටියෙත් නැහැ. සල්ලි නැති නිසා වැලිකඩ ප‍්‍රිසන් එක ඇතුලෙන් කිසි සැලකිල්ලක් නැහැ. ලාලිත මගේ හොඳම යාළුවෙක් වෙලා හිටියෙ. මං ලාලිතට කිව්වා මටත් ජීවත් වෙන්න අමාරුයි. බිස්නස් කරන්න බඩු ටිකක් දෙන්න කියලා. ඒ කතාව අහලා ලාලිත මට කුඩු දෙන්න පටන් ගත්තා. අන්තිමේදී මං තමයි ඒ කාලෙ ප‍්‍රිසන් එක ඇතුලෙ කුඩු බිස්නස් එක කළේ.’’

වැලිකඩ බන්ධනාගාරයෙ තුළ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගිය ආකාරය පිළිබඳ සියලූ තොරතුරු මාකඳුරේ මධුෂ් හෙළිකරන්න වුණේය. මධුෂ් හෙළිකළ බොහෝ තොරතුරු වැළලී ගොස් තිබූ අභිරහස් ඒවාය. මධුෂ් හෙළිකරමින් සිටි සියලූ තොරතුරු උසස් පොලිස් නිලධාරියා බොහොම සාවදානව අසා සිටියේය.

‘‘ප‍්‍රිසන් එකේ කුඩු බිස්නස් පටන් ගත්තට පස්සේ ලාලිතගෙයි මගෙයි යාළුකම තව තව වැඩි වුණා. කොටින්ම අපි දෙන්න සහෝදරයො වගේ හිටියෙ.

ලාලිත හැමදාම කිව්වේ කොහෙ හරි රටකට පැනලා ඒ රටේ ඉඳගෙන බිස්නස් එක කරමු කියලා. ඩුබායිවලට ගිහින් එහෙ පදිංචිවෙලා ඉඳගෙන ලංකාවෙ කුඩු බිස්නස් එකයි අන්ඩර්වර්ල්ඞ් එකයි රන් කරන අදහස මගෙ හිතට මුලින්ම ආවෙ ලාලිතගෙ ඔය කතාවල් අහලා.’’

ලාලිත හැම වෙලේම කිව්වේ රටින් යනවා නම් අපි දෙන්නම එකට යන්න ඕනෙ කියලා. අපි දෙන්නගෙන් කවුරුහරි කෙනෙක් ඇප අරගෙන එළියට ගියොත් අනිකට ඇප ලැබෙනකල් ඉඳලා එකටම රටින් යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියෙ. ලාලිතට මුලින්ම ඇප ලැබුණා. එයා වැලිකඩින් ගිය දවෙස මං පුදුම විදිහට දුක් වුණා. මට ප‍්‍රිසන් එකේ තිබුණු ලොකුම හයිය නැතිවුණා කියලා හිතුණා. හැබැයි ලාලිත වැලිකඩින් යද්දි මට කිව්වා මං උඹ එළියට එනකල රටින් පනින්නේ නැහැ කියලා. ඩුබායි යන්න ඔනෙ අපි දෙන්නම එකට කියලා ලාලිත මගේ අත්දෙක අල්ලගෙන කිව්වා. මම එළියට එනකල් බලාගෙන ඉන්නවා කියලා, පිටවෙලා ගිය ලාලිත මාස කීපයකට පස්සේ වෙඩිකාලා මැරුණා.

ලාලිතට වෙඩි තිබ්බෙ රංගජීව. ලාලිත මැරුව කියලා ඇහුව දවසෙ මට පුදුම දුකක් ඇතිවුණා. මේ වැඬේ කළේ අයි. පී. රංගජීව කියලා දැනගත්තට පස්සෙ මට එයා ගැන පුදුම තරහක් ඇතිවුණා. කවදහරි දවසක ලාලිත මරපු පලිය ගන්නවා කියලා මං එදා හිතා ගත්තා.’’

ලාලිත කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිත මෙරට ප‍්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කාරයන්ගෙන් එකකු බවට පත්ව සිටියේය. 2014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ලාලිත හෙරොයින් තොගයක් ද පටවාගෙන සිය මෝටර් රථයෙන් යමින් සිටියදී අතුරුගිරිය ප‍්‍රදේශයේදී පොලිසියට කොටුවුණේය. පොලිසියෙන් බේරීමට ලාලිත සිය රිවෝල්වරය අතට ගත්තේය. පොලිස් නිලධාරින්ට වෙඩි තබාපලා යෑමට උත්සාහ කළ ද අවසානයේ ලාලිත වෙඩි කා මිය ගියේය. කුඩු ලාලිත සහ කළු තුෂාර ඝාතන සිද්ධීන් දෙක මාකඳුරේ මධුෂ්ගේ සිතට හොඳින් කාවැදුණු සිදුවීම් බවට පත්ව තිබුණේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීවගෙන් පලි ගැනීමට මධුෂ් සැලසුම් කරන්නේ මේ සිදුවීම් දෙක නිසා ඇතිව තිබු වෛරය පිරිමසා ගැනීම සඳහා ය. පොලිස් පරීක්‍ෂක රංගජීව ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ ආකාරය මාකඳුරේ මධුෂ් හෙළිකරන්නට පටන් ගත්තේය. ‘‘2017 වෙනකොට ලංකාවෙම අන්ඩර්වර්ල්ඞ් එක රන් කළේ මම. ඒ වෙනකොට මට ඕනෙ තරම් සල්ලි තිබුණා. මගේ ටීම් එකේ ගෝලයො රට පුරාම හිටිය. එක රැයකින් මට ඕන දෙයක් කරන්න තරම් ශක්තියක් ලැබිලා තිබුණා.

රංගජීවට පාඩමක් උගන්වන්න කාවද තෝරගන්නෙ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි මට නවාස්ව මතක් වුණේ. නවාස් කාලයක් තිස්සේ බඩු ගත්තෙ මගෙන්. අවුරුදු ගාණක් හොඳට බිස්නස් කරගෙන හිටියා. මිනිහා ඞීල් දෙක තුනක් කරද්දී පොඩි වංචාවක් කරනවා කියලා මට තේරුණා. මං මිනිහව අතඇරලා දැම්මා. නවාස් දැනගෙන හිටියා මං එක්ක තරහ වෙලා මේ ෆීල්ඞ් එකේ ඉන්න අමාරුයි කියලා. මිනිහා වැඳ වැටිලා මගෙන් සමාව ඉල්ලූවා කරපු වැරදිවලට. ඒත් මං මිනිහව බිස්න්වලට ගාව ගත්තෙ නැහැ.

නවාස් එක පාරක් කුඩු ලෝඞ් එකක් එක්ක නාකොටික් එකට කොටු වුණා. මිනිහා මාස ගණනක් රිමාන්ඞ් එකේ හිටියා. රිමාන්ඞ් එකෙන් එළියට ආවට පස්සෙ නවාස් නාකොටික් එකේ ඉන්ෆෝමන් කෙනෙක් විදියට වැඩ කරනවා කියලා මට ඇතුළෙන්ම දැන ගන්න ලැබුණා.

ඌරගෙ මාළු ඌරගෙ ඇෙඟ්ම තියලා කපන්න ඒනෙ කියන සිතුවිල්ල මට ඒ වෙලාවෙ ආවා. මං නවාස්ට කතා කළා. පරණ තරහ මරහ සේරම අමතක කරලා දරන්නම්. හැබැයි උඹ මට උදව් කරන්න ඕනෙ කියලා මං එදා නවාස්ට කිව්වා. නවාස් බල බලා හිටියෙ මාත් එක්ක ආයෙ සෙට් වෙන්නෙ කොහොමද කියලා. මිනිහා මගේ යෝජනාවට එක පයින්ම කැමති වුණා. රංගජීවට ගහලා මුළු රටම ගිනිගන්න ගේම් එකක් සෙට් කරන්න නවාස් මට පොරොන්දු වුණා…..’’ පොලිස් පරීක්‍ෂක රංගජීව විනාශකර දැමීමේ මෙහෙයුම සඳහා මොහොමඞ් නවාස් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධ කරගත් ආකාරය මාකඳුරේ මධුෂ් හෙළි කළේය.

මීගමුව පාතාලයේ කෙරුම්කාරයකුව සිට ඝාතනයට ලක් වූ මොහොමඞ් ෆේරෝස්ගේ ඥාති සොහොයුරකු වූ මොහොමඞ් නවාස් හෙරොයින් ජාවාරම මහා පරිමාණයෙන් කරගෙන ගිය ජාවාරම්කරුවෙකි. 2016 වර්ෂයේදී නවාස් රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට කොටුවුණේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය නවාස්ගෙන් කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඔහු පොලිස් නිලධාරීන්ගේ හොඳ හිත දිනා ගත්තේය.

මත්ද්‍රව්‍ය තොග පිටින් අල්ලා දීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ඔත්තු ලබා දෙන්නට නවාස් පොරොන්දු වුණේය. මාස ගණනක් බන්ධනාගාරයේ ලැඟ සිටි නවාස් ඇප මත නිදහස ලබා ආවේය. එතැන් සිට නවාස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට තොරතුරු ලබා දෙමින් මහා පරිමාණ හෙරොයින් වැටලීම් සඳහා සහාය වන්නට පටන් ගත්තේය. මහා පරිමාණ වැටලීම් කීපයක් සඳහාම තොරතුරු ලබාදීම නිසා නවාස්ට මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අතර විශ්වාසයක් ගොඩනඟා ගැනීමට හැකි විය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නවාස් අතර පවතින සමීප සම්බන්ධතාවෙන් ප‍්‍රයෝජනයක් ගැනීමට සිතූ මාකඳුරේ මධුෂ් රංගජීව විනාශ කිරීම සඳහා ඔහුගේ සහාය ලබා ගැනීමට සැලසුම් කරන්නේ එතැන් සිටය. 2017 වර්ෂයේ අපේ‍්‍රල් මාසය ආරම්භවන විට නවාස් සහ මධුෂ් අතර එකඟතාවක් ඇති වී තිබිණි. රංගජීව විනාශකර දැමීම සඳහා මධුෂ් ඒ වන විටත් සැලසුමක් සකස් කරගෙන සිටියේය. මධුෂ් සහ නවාස් මේ සැලසුම පිළිබඳව පැය ගණන් එක දිගට දුරකථන සංවාද පවත්වමින් සාකච්ඡා කළහ. රංගජීව ඝාතනයව කිරීම සඳහා සැලසුම් සකස් කළ ආකාරය පිළිබඳව මාකඳුරේ මධුෂ් උසස් පොලිස් නිලධාරියා හමුවේ හෙළිකරන්නට පටන් ගත්තේය.

‘‘මං නවාස්ව අතඇරලා දාලා හිටිය නිසා මිනිහට මා එක්ක ආයෙ සෙට් වෙන්න ලොකු වුවමනාවක් තිබුණා. මේ වැඬේ මං බලාපොරොත්තු වෙනවටත් වැඩිය ඉහළින් කරන්න නවාස්ට ඕනෙකම තිබුණා.

අපි ප්ලෑන් කළේ හෙරොයින් තොගයක් ගැන ඔත්තුවක් රංගජීවට දීලා මිනිහව කොහෙට හරි ගෙන්නලා අපේ කොල්ලො දෙන්නෙක් දාලා වෙඩි තියලා දාන්න.

මේ වැඬේ කළාට පස්සේ නවාස්වයි, වැඬේට සෙට් කරන කොල්ලො දෙන්නවයි මං ඩුබායිවලට ගෙන්නගන්න පොරොන්දු වුණා. ඒ තුන්දෙනා බෝට්ටුවකින් ඉන්දියාවට ගෙන්නලා, එතැනින් ඩුබායිවලට ගෙන්න ගන්න අවශ්‍ය වැඩ ටිකත් මං ලෑස්ති කළා. රංගජීවට

ගැහුවට පස්සේ නවාස්ව ඩුබායිවලට ගෙන්න ගන්න කතාව ඇහුවට පස්සේ මිනිහට ගොඩක් සතුටු හිතුනා. වැඬේ හරියටම කරලා දෙනවා කියලා මට නවාස් පොරොන්දු වුණා. ආමි අසිතවයි අහංගම සංජීවවයි මේ වැඬේට ලෑස්ති කළා. හෙරොයින් ලොට් එකක් අල්ලලා දෙන්නම් කියලා රංගජීව පිළියන්දල ටවුන් එකට ගෙන්නලා මිනිහට ගහලා දාන්න අපි ප්ලෑන් කළා. මේ ප්ලෑන් එක ක‍්‍රියාත්මක කරන වැඬේ සම්පූර්ණයෙන් ම භාරවෙලා තිබුණෙ නවාස්ට. මිනිහා ඒ වැඬේ හරියටම කළා.

රංගජීවට වෙඩිතියන්න ඕන කරන ටී. 56 වෙපන් එකයි බයික් එකයි මම ලැස්ති කරලා දුන්නා. ඒ වෙනකොට නවාස් රංගජීවට මේ කේස් එක ගැන කියලා තිබුණා. නාකොටික් එකේ කට්ටිය හිතාගෙන හිටියෙ නවාස් ඒ අය එක්ක ඉන්නෙ කියලා.

නවාස් ඒ වෙනකොට කොයි තරම් හොඳ විශ්වාසයක් ගොඩනඟාගෙන හිටියද කියනව නම් මිනිහ කිව්වොත් රංගජීව අපායට වුණත් යන්න ලෑස්තිවෙලා හිටියෙ.

2017 මැයි මාසෙ 09 වැනිදා රෑ අපි මේ වැඬේ ඉවරයක් කරන්න ප්ලෑන් කළා. හරියට වෙසක් පෝයට ඉස්සර දිනේ නිසා ටවුන් එකේ බොහොම කාර්යබහුල වෙලා තිබුණේ.

කළු තුෂාරටයි ලාලිතටයි සාධාරණයක් ඉෂ්ඨ වෙන දිනේ එනකල් මං අවුරුදු ගාණක් තිස්සේ ඇඟිලි ගැන ගැන හිටියෙ. වසර ගණනක් තිස්සේ තම හදවතේ කැකෑරෙමින් තිබූ වෛරය පිරිමහ ගත් ආකාරය මධුෂ් හෙළි කළේය. රංගජීව ඝාතනය කිරීම සඳහා මධුෂ් තෝරාගෙන සිටියේ ආමි අසිත සහ අහංගම සංජීවගේ වැඩිමහල් සොහොයුරා වන ලොකු පැටී නමැති කුලී මිනීමරුවන් දෙදෙනාය. ආමි අසිත පදිංචිව සිටියේ අහංගම ප‍්‍රදේශයේ ය. මිනීමැරුම්, කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවල නිරත වූ ආමි අසිත දකුණේ පාතාලයේ කෙරුම්කාරයකු බවට පත්ව සිටියේ.

දකුණු පළාතේ සිදු වූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ආමි අසිත පොලිසියට අවශ්‍යව සිටියේය. පොලිසිය ආමි අසිත අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම කි‍්‍රයාත්මක කළහ. එක් අවස්ථාවක ආමි අසිත ගාල්ල රත්ගම ප‍්‍රදේශයේදී පොලිසියට කොටු වුණේය. ඔහු දන්නා සෙල්ලං දමා පොලිසියෙන් බේරී පලා යන්නට සමත් වුණේය. ආමි අසිතට රත්ගම පොලිසියේ නිලධාරීන් වෙඩි තැබුවේ ඔහු ජීවග‍්‍රහයෙන් හෝ මරාදමා හෝ අල්ලා ගන්නා අරමුණ ඇතිවය.

පොලිස් වෙඩි ප‍්‍රහාරවලින් ආමි අසිත බරපතළ තුවාල ලැබුවේය. ඔහුගේ දකුණු පාදයට වෙඩි වැදුණු අතර ඒ තුවාල සහිතව පලා යන්නට සමත් වුණේය.

ආමි අසිතගේ තුවාලය සුව වුවද ඔහු ඇවිදීමේ අපහසුතාවකින් පෙළෙන්නකු බවට පත්වුණේය.

රංගජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ කාර්යය භාර වී තිබුණේ ආමි අසිතටය. ප‍්‍රහාරය සඳහා අවශ්‍ය කරන ටී – 56 ගිනි අවිය ආසි අසිත වෙත ලබා දෙන්නට මධුෂ් ඩුබායි හි සිට කටයුතු කළේය. ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරුපැදි පැදවීමේ ශූරයකු අවශ්‍ය විය. යතුරුපැදි පැදවීමේ දක්‍ෂයකු සොයා ගැනීමට මධුෂ් සහ නවාස් සති ගණනක් තිස්සේ මෙහෙයවූහ. අවසානයේ ඔවුන්ට ඒ කාර්යය සඳහා සුදුසුම පුද්ගලයා සොයා ගැනීමට හැකි විය. සංජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී නමැත්තා මේ අභියෝගය සඳහා යෙදවීමට මධුෂ් තීරණය කළේය. අහංගම සංජීවගේ වැඩිමහල් සොහොයුරා වන ලොකු පැටී රංගජිව ඝාතනය සඳහා යතුරුපැදිය පැදවීමේ කාර්යයට තෝරා ගැනීම ගැන නවාස් මෙන්ම ආමි අසිත ද කැමැත්ත පළ කළහ.

ලොකු පැටී කිසි දිනක මාකඳුරේ මධුෂ් දැක තිබුණේ නැත. කොටින්ම ලොකු පැටී මධුෂ්ගේ ඡායාරූපයක් හෝ දැක තිබුණේ නැත. පැටී මධුෂ්ව දැන හඳුනන්නේ ඔහුගේ සොහොයුරා වන අහංගම සංජීව හරහා ය. අහංගම සංජීව මධුෂ්ගේ සමීපතමයකු විය. මධුෂ් සංජීව දැන හඳුනා ගත්තේ ගාල්ල බන්ධනාගාරයේදීය. ඒ මීට වසර ගණනාවකට උඩදී ය. සංජීව මධුෂ්ගේ හෙරොයින් ජාවාරමේ කොටස්කරුවකු විය. තම සොහොයුරාගේ මාර්ගයෙන් මධුෂ් දැන හඳුනාගත් පැටී ඔහුගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුණේය.

මුදල් අගහිඟකම් ඇතිවන සෑම අවස්ථාවකදීම ලොකු පැටී මුදල් ඉල්ලා ගත්තේ මධුෂ්ගෙන් ය. මධුෂ් තම මිතුරා වූ සංජීවට දුරකථනයෙන් කතා කර ප‍්‍රහාරය සඳහා යතුරුපැදිය පැදවීමේ කාර්ය ලොකු පැටී වෙත භාර දෙන ලෙස උපදෙස් දුන්නේය. ඒ වන විට ලොකු පැටී මධුෂ්ගෙන් රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න මුදලක් ණයට ලබා ගෙන තිබුණේය. ඒ ණය මුදල හිලව් වී යන ආකාරයට මේ ප‍්‍රහාරය සඳහා සහාය වීමට ලොකු පැටී මධුෂ්ට පොරොන්දු වුණේය. වෙසක් පොහොයට පෙර දින රාත‍්‍රියේ රංගජීව ඇතුළු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිළියන්දල නගරයට ගෙන්වා ගෙන ඔවුන්ට ප‍්‍රහාරයක් එල්ල කළ ආකාරය පිළිබඳව මාකඳුරේ මධුෂ් හෙළිකරන්නට පටන් ගත්තේය.

‘‘සර්….. රංගජීව දැනගෙන හිටියෙ නැහැ මං එයාගේ ප්ලෑන්වලට වඩා ගව්ගාණක් ඉදිරියෙන් ඉන්න ප්ලෑන් ගහනවා කියලා. එයා මගේ ගැටේට අහුවුණා. නවාස් දුන් ඉන්ෆොමේෂන්වලට රංගජීවයි එයාගේ ගෝලයො ටිකයි පිළියන්දල නගරයට ආවා. මං ඩුබායි ඉඳලා මේ ඔපරේෂන් එකේ හිටිය හැම කෙනෙක් එක්කම ටෙලිෆෝන් එකෙන් කතා කළා. වැඬේ හරියට කරන්න ඕන කරන හැම උපදෙසක්ම දුන්නා. සිද්ධවෙන හැම දෙයක් ගැනම නවාස් මට විස්තර කිව්වා. මා ආමි අසිතටයි ලොකු පැටීටයි කතා කරලා වැඬේ හරියට කරන්න කියලා කිව්වා. ප‍්‍රශ්නයක් වුණොත් මං දෙන්නවම ඩුබායිවලට ගන්නවා කියලා පොරොන්දු වුණා.

නවාස් මා එක්ක කතා කරන ගමන් රංගජීව එක්කත් කලා කරලා ඒ අයව පිළියන්දලට ගෙන්න ගන්න ලෑස්ති කළා. රංගජීවයි ගෝලයෝ ටිකයි පිළියන්දල ටවුන් එකේ වාහන නතර කරන් හිටියා නවාස්ගෙන් තොරතුරක් එනකල්. ඒ අතරේ මං මගේ කොල්ලො දෙන්න බයික් එකෙන් පිළියන්දල ටවුන් එකට එව්වා. රංගජීවලා ආව වාහන ගැන හැම විස්තරයක්ම නවාස් මට දීලා තිබුණා.

රංගජීවලා ඇවිත් හිටියෙ ඇල්ටො වර්ගයේ පොඩි කාර් එකක. ඒවගේ වාහන කීපයක් පාර අයිනෙ නතර කරලා තිබුණ නිසා අසිතට වාහනේ හරියට හොයාගන්න අමාරු වුණා. මිනිහා මුලින්ම ෆයර් කළේ වෙන වාහනේකට.

ඒක අපේ කරුම වෙලාවක් කියන්නේ සර් ඒ වෙඩි පාරවල්වලින් පාරේ ගිය අහිංසක ළමයි තුන්දෙනෙක් තුවාල වුණා. එතන සිද්ධ වුණේ මහා කාලකණ්ණි වැඩක්. වෙඩි වැදිච්ච එක ගෑනු දරුවෙක් දවස් ගාණක් ඉසිපිරිතාලෙ ඉඳලා අන්තිමේ මැරුණා. මට ඒක

දරාගන්න බැරි දුකක්. මං අදටත් පසුතැවිලි වෙනවා ඒ ගැන හිතලා. අන්තිමේදි රංගජීව හිටිය වාහනේ හොයාගත්ත ආමි අසිත ඒකට වෙඩි තිබ්බා. කොහොම හරි තුවාල වෙලා හිටිය රංගජීව ජීවිතේ බේරාගත්තා. රංගජීවගේ ගෝලයෙක් අසිත අතින් මැරුම් කෑවා.

රංගජීව ඉවරයක් කරගන්න බැරි වෙච්ච එකටයි අර අහක හිටිය ගෑනු දරුවා නැති වෙච්ච එකටයි මං ගොඩක් කලකිරිලා හිටියෙ.

කොහොම හරි මේ ඇටැක් එකෙන් පස්සෙ නාකොටික් එකේ සෙට් එක දැන ගත්තා නවාස් ඩබල් ගේමක් ගැහුවා කියලා. ඒ අය නවාස්ව අල්ල ගත්තා.

රංගජීවලාට වෙඩි තිබ්බ කේස් එක විමර්ශනයට සී. අයි. ඞී. එක දැම්මේ ඊට පස්සේ. නවාස්ව සී.අයි.ඩි. එකට ගන්න ඉස්සර මිනිහව පන්න ගන්න අපට පුළුවන් වුණා. අන්තිමේදී මං මිනිහට බෝට්ටුවකින් ඉන්දියාවට යවන්න අවශ්‍ය කටයුතු කළා. ටික දවසකට පස්සෙ ආමි අසිතවත් මං රටින් පැන්නුවා.

අවුරුදු විස්සක් තිස්සේ මම ගහපු හැම ගේම් එකක්ම හරි ගියා. මට වැරදුනු එකම තැන මේක විතරයි සර්. රංගජීවව නැති කරලා කළු තුෂාරගෙ පොඩි දරුවට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මං හිතාගෙන හිටියෙ. ඒත් ඒක කරන්න බැරි වුණා. ඒ ගැන මං කනගාටු වෙනවා.

මාකඳුරේ මධුෂ් වැරදුණු කුරුමානම ගැන හෙළි කළේ කනගාටුවෙන් යුතුමය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top