වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීමටත් ජනතාව වෙත පොරොන්දු ලබා දී වුව ද, වර්තමානයේ මහා සංඝරත්නය ඝාතනය වීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වී ඇති බවත් එයින් ජාතික ආරක්ෂාව තහවුරු වී ඇත්ද යන්න පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා.
එහිදී, විපක්ෂ නායකවරයා, ‘2020 ජනවාරි 19 වැනිදා පොලීසිය සැකකරුවෙක් සමඟ පොරබැදීමේ දී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් හුංගම හාතාගල විහාරස්ථානයේ බුත්තල සීලරතන ස්වාමින් වහන්සේ අපවත් වුනා. ඒ වගේම, 2020 ජුනි 29 වැනිදා මහ ඉදුරුව ගල්කන්ද ශ්‍රී විජයධම්ම පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති යටියන බුද්ධානන්ද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අත පය ගැට ගසලා, උල් ආයුධයකින් ඇන දමලා මරා දාලා තිබුණා ඇණ ගහලා. ඒ වගේම, 2020 දෙසැම්බර් 08 වැනිදා රත්ගම පොල්ගස්දූව ආරණ්‍යසේනාසනයේ භාවනායෝගීව වැඩ විසූ නෙදර්ලන්තයේ ජිනවංස ස්වාමීන් වහන්සේ ඝාතනය කරලා රත්ගම කලපුවට දාලා තිබුනා.
දැන්, දින කිහිපයකට හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ උඩුවිල ධම්මසිරි ස්වාමීන් වහන්සේ එම සේනාසනයට කඩා වැදුණු මැර පිරිසක් විසින් පැහැරගෙන ගිහිල්ලා තිබෙනවා. දැන් ඊයේ දවසේ අපිට අහන්නට ලැබෙනවා ඒ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මළ සිරුර කොටදෙණියාව මීගමුව මාර්ගයේ පොදු සුසාන භූමියක පිළිස්සෙමින් තිබියදී සොයා ගත්තායි කියලා.
ඔබතුමන්ලා රාජ්‍ය බලයට ආවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරනවා, ජාතික ආරක්ෂාව තහවුරු කරනවා, රටේ ආරක්ෂාව ශක්තිමත් කරනවා කියලා. නමුත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීමේ මුර දේවතාවුන් වන අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය මේ විදියට ඝාතනය වෙනකොට මං අහන්න කැමතියි කෝ ඔබතුමන්ලාගේ මේ ජාතික ආරක්ෂාව? ඇයි අපේ නායක ස්වාමීන් වහන්සේලා රැකගන්නට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන්නේ?.’ යැයි විමසා සිටියා.
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට අදාළ කරුණු නිවැරදිව සොයා බලා හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර එහිදී පැවසුවා.
