මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත මවක් නිරෝගී නිවුන් දරුවන් දෙදෙනෙකු ප්‍රසූත කර තිබෙනවා. දියවැඩියාව හා අධිරුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදුකෙරුණේ සිසේරියන් සැත්කමක් මඟින්ය.
මුල්ලේරියාව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේ, මේ දක්වා කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන් 170 කට වැඩි පිරිසක් මුල්ලේරියාව රෝහලේ ප්‍රසූතිය සිදුකර ඇති බවය.
“අපිට වැඩිම රෝගීන් ගණනක් එන්නේ සොයිසා රෝහලෙන්. 100ක් විතර රෝගීන් ආවා. එකෙන් එක පේෂන් කෙනෙක් බබාලා දෙන්නෙක් දරන් හිටිය අම්ම කෙනෙක්. එයාට දියවැඩියාව තිබුණා සහ ඒ බබාලා දෙන්නා හොඳින් වර්ධනය වෙලා තිබුණේ නෑ. ඒ නිසා ගිය ඉරිදා සවස 5ට 6ට විතර ප්‍රසූත කරන්න වුණා. ඒ වෙලාවේ දී අම්මාගේ පෙෂර් එක නිසා සිසේරියන් සැත්කමකින් ඒ අම්මාව ප්‍රසූත කරන්න වුණා. අම්මාට අවුරුදු 23ක්. සති 37ක ගර්භනී කාලය පහුවෙනවාත් එක්කම බබාලව අපි ගත්තා. ප්‍රසූත කරන වෙලාවේ දී අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය බබාලා පුංචියට හිටියේ. ඔවුන්ව තියන්න මුල්ලේරියාව රෝහලේ නොමේරූ ළඳරු ඒකකයක් නෑ හරියට. ඒ නිසා වෛද්‍ය සමන් කුමාර සහ ඒ අයගේ කණ්ඩායමට එන්න වුණා මේ අය බලන්න. ඒත් එක්කම ඔපරේෂන් එකට විශේෂ වෛද්‍ය රුචිනි හා තවත් පිරිසක් උදව් වුණා.“
කෙසේ වෙතත්, මේ වන විට දරදරුවන් දෙදෙනා හා මව යහපත් මට්ටමින් සිටින බවත් කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන බවත් වෛද්‍ය මයුරමාන දෙවොලගේ වැඩිදුරටත් පැවසීය.
