Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආරම්භය යුක්රේන ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයෙකුගෙන්

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර නිර්මාණය වී ඇත්තේ යුක්රේනයේ සිට පැමිණි ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකයෙකුගෙන් වෛරසය සම්ප්‍රේශණය වීම නිසා යැයි අනුමාන කරන බව කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ අද (07) පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින්ට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළීබදව මාන කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කර ඇති අතර ඒ අනුව මෙම නිගමනයට පැමිණි බවයි රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මේ බව කියා සිටියා.

Giraya News Alerts

පාර්ලිමේන්තුවේ දී එම ප්‍රශ්නයවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය ‘මිනුවන්ගොඩ පොකුර වාර්තා වූ කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂා කරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙම රෝගය වැළඳෙන්නට ඇති බවයි. ඒ ඔස්සේ පරීක්ෂා කරන විට යුක්රේන ජාතික ගුවන්යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් – 19 රෝගය ආසාදනය වී තිබූ බව සොයා ගත් අතර පසුව ඒ හෝටලයේ කාර්යමණ්ඩලය පරීක්ෂා කිරීමේ දී එහි කිහිපදෙනෙකුට ද මෙම රෝගය වැළඳී ඇති බවට හඳුනාගන්නා ලදී. මොවුන් සහ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලය සමඟ යම් සම්බන්ධතා පැවති බවත් නිරීක්ෂණය විය.

මෙම ආකාරයට අනාවරණය කර ගන්නා ලද කරුණු අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලයට කොවිඩ් – 19 ආසාදනය පැමිණියේ ඉහත කී මාර්ගයෙන් බවට බොහෝ දුරට අනුමාන කළ හැකිය.

මෑතකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවගේ මහත්මිය විසින් සිදු කරන ලද වෛරස් අධ්‍යයන මඟින් 2020 ඔක්තෝම්බර් මස සිට රට තුළ පැතිරෙන කොවිඩ් – 19 ආසාදනයට හේතුවන වෛරස් ප්‍රභේදය මින් පෙර රට තුළ පැතිරුණු වෛරස් ප්‍රභේදයන්ට වඩා වෙනස් බවත් මෙම වෛරස් ප්‍රභේදය යුරෝපා රටවල පැතිරෙන වෛරස් ප්‍රභේදයට සමාන බවත් වාර්තා කිරීම උක්ත නිගමනය නිවැරදි බවට සහතික කරන සාධකයක් බවත් දන්වා සිටිනු කැමැත්තෙමි.’

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top