Advertise with Giraya
Weather

‘බුරවී’ ත්‍රිකුණාමලයට ළඟා වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී“සුළි කුණාටුව ඊයේ (01) ප.ව 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 330ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1ත් නැගෙනහිර දේශාංශ 84.2ත් ආසන්නව ස්ථානගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 75 – 85 පමණ වන අතර විටින් පැ.කි.මී 95 දක්වා වැඩි වේ. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

නැගෙනහිර, උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවල මි.මී 200ට වැඩි වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුරු, උතුරු මැද, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී 80 -90 පමණ තද සුළං ඇති වේ. සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 60 70 පමණ තද සුළං ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි.

මේ අතර, සුළි කුණාටු අවදානමට මුහුණදීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් තුසිත වනිගසිංහ ප්‍රකාශ ක‌‌රයි. ඔහු සඳහන් කළේ, මුහුදුබඩ ප්‍රදේශවල ජීවත්වන පවුල් අවශ්‍ය අවස්ථාවල ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීම සඳහා සැලසුම් කර ඇති බවයි.

නැගෙනහිර පළාතේ සියලු පාසල්ද අද (02) සිට අනිද්දා (04) දක්වා වසා තැබේ. තුසිත වනිගසිංහ ප්‍රකාශ කළේ පාසල් තුළ අවතැන් කදවුරු ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි. ආපදා කළමනාකරණ අංශ , ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව ආපදා කළමණාකරණ වැඩපිලිවෙල මෙහෙයවන බව ද ඔහු පැවසුවේය.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ අවදානම් සහිත ගස් හා අතු ඉවත් කිරීම පසුගිය දින කිහිපයේ සිදුකළ බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top