Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස හැසිරීමට හේතුව හෙළිවේ

මහර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ තිබූ ඇතැම් ඖෂධ වර්ග භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද (01) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.

එමෙන්ම, මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 2,750ක් සිටින බවත් ඉන් දඬුවම් ලැබූ රැඳවියන් සහ රිමාන්ඩ් රැඳවියන් 1600ක් පමණ වන බවත් ද ඔහු පැවසීය. ආහාර ගන්නා ස්ථානයේ දී එම 1600ක පමණ පිරිස එකතු වී දොරවල් කඩාගෙන එළියට පැමිණ බන්ධනාගාරයේ ඉදිරිපිට දොරටුව ඉදිරිපිටට රැස්ව පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලීම් කර තිබේ.

Giraya News Alerts

අනතුරුව බන්ධනාගාර අධිකාරීවරයා හා තවත් නිලධාරීන් ගොස් සාකච්ඡා සිදුකර ඇති නමුත් රැඳවියන් නිලධාරීන්ට පහර දීමට වටකර ගෙන ඇති බවත් පසුව විශාල වශයෙන් ගල් හා පොලු ප්‍රහාර එල්ල කරමින් පැනයෑමට උත්සහ කළ බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසයි.

ඒ අවස්ථාවේ දී අවවාද කළත් පාලනය කර ගැනීමට නොහැකි වු බැවින් රබර් උණ්ඩ යොදා වෙඩි තබා ඇති අතර, පසුව යම් බලයක් යොදා එම තත්ත්වය පාලනය කිරීමට සිදුවු බවත් පැවසු බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ බන්ධනාගාර බෙහෙත් ගබඩාවේ තිබු මානසික රෝග සඳහා පාවිච්චි කරන බොහෙත් සහ අනෙකුත් සියලු පෙති වර්ග රැඳවියන් විසින් පානය කර ඇති බවයි.

ඉන් අනතරුව ඔවුන් වඩාත් ප්‍රචණ්ඩව හැසිරුණු බවත් පසුව ඔවුනොවුන් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුළ විශාල හානියක් සිදුකළ බවත් ඔහු පැවසීය. අදාළ සිද්ධියෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය පිළිබදව තක්සේරු කිරීම සඳහා වෙනම කමිටුවක් පත්කර ඇති බව ද බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක සඳහන් කළා.

මේ අතර, මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ, එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බවයි.

එසේම ඖෂධ ගබඩාවේ මානසික ආතතියට සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති බවත්, එම පෙති රැඳවියන් විසින් භාවිත කර ඇති බවත් දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බවත්ය. එමෙන්ම ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිත බව ඔහු පැවසීය.

මහර බන්ධනාගාරයේ සිදුවූ අදාළ සිද්ධියට මහර බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු සම්බන්ධ වී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top