කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වූ ඖෂධයන් හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පසුගිය කාලය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ අතර කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් කටයුතු කර ඇත.
එහිදී, මෙම ඖෂධය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී 100% ප්‍රතිශතයකින් කොවිඩ් රෝගීන් සුවය ලබා ඇති බව පර්යේෂණය සිදුකළ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙයි.
මෙම ඖෂධය නිපදවා ඇති කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර දේශීය වෛද්‍යවරයා සඳහන් කරන්නේ, එම ඖෂධය දින තුනක් රෝගීන් වෙත ලබා දීමෙන් ඔවුන් සුව කළ හැකි බවට තමන්ට සපථ කළ හැකි බවයි.
ඒ අනුව, වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූල බණ්ඩාර, කොවිඩ් ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාර සහ කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකොන්ගේ මැදිහත්වීමෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 140 දෙනෙකු සම්බන්ධ කරගනිමින් පළමු පර්යේෂණය ආරම්භ කර තිබෙනවා.
පී.සී.ආර් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී දින 06ක් ගතවූ රෝගීන්ට මෙලෙස දින 03 ක් අඛණ්ඩව දවසට දෙවරක් බැගින් මෙම ඖෂධය පානය කිරීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව එම ඖෂධය පානය කළ රෝගීන් අතරින් අහඹුලෙස තෝරාගත් දස දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ලැබීය.
ඒ අනුව, පළමු පර්යේෂණය යටතේ සිදුකළ අත්හදා බැලීමට අනුව පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ රෝගීන් දසදෙනාගේම ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති බව පසුගිය 16 වැනිදා තහවුරු වී ඇත.
අනතුරුව මෙම වෛද්‍ය කණ්ඩායම ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ ද සම්බන්ධ කරගනිමින් මෙම ඖෂධය පිලිබඳව 02 වන පර්යේෂණය ආරම්භ කර තිබෙනවා.
එහිදී දෙවන පර්යේෂණය සඳහා ද පී.සී.ආර් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී දින 03 ත් 04ත් අතර වූ රෝගීන් සම්බන්ධ කරගගෙන ඇත. වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් 50දෙනෙකු පර්යේෂණය සඳහා සම්බන්ධ කර ගැණුනු අතර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව රෝගීන් 25 දෙනෙකුට නව ඖෂධය ලබාදීමත් අනෙක් රෝගීන් 25 දෙනාට ඖෂධීය ගුණයන් නොපෙන්වන ආදේශකයක් ලබාදීමත් සිදුකර තිබේ.
ඔවුන්ට ද දින 03 ක් එලෙස අඛණ්ඩව ඖෂධය ලබාදීමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා පසුගිය 25වනදා එම රෝගීන්ගෙන් කොටසක් මහරගම අපේක්ෂා රෝහලටත් අනෙක් කොටස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයනයටත් යොමුකර ඇති අතර මහරගම අපේක්ෂා රෝහලට යොමුකළ 31 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා මේ වනවිට වෛද්‍ය කණ්ඩායමට ලැබී තිබේ.
එම අපේක්ෂා රෝහලේ පී.සී.ආර් වාර්තාවලට අනුව නව ඖෂධය ලබාගත් රෝගීන් 16 දෙනෙකුගේ ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති අතර ආදේශකය ලබාදුන් රෝගීන් 15 දෙනෙකුගේ ශරීරයේ වෛරසය තවදුරටත් ඇති බව තහවුරු විය. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයනයට යොමුකළ රෝගීන් 19 දෙනාගේ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතය.
ඒ අනුව, පර්යේෂණ වට දෙකකදී සාර්ථකත්වයක් පෙන්වූ මෙම ඖෂධය සම්බන්ධයෙන් කෙරෙන 03 වන පර්යේෂණය රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ, “කොවිඩ් 19 රෝගය සඳහා හෙළ වෙදකම ඇසුරෙන් නිෂ්පාදිත ඖෂ්ධය පිළිබඳ අප යම් ආකාරයකට දැනුවත් වුණා. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණාත්මකව සොයා බැලිය යුතුයි යන අදහසේ අපි සිටිනවා. ඒ වගේම මේ ඖෂධයේ ඵලදායිතාව පිළිබඳ නිශ්චිත වශයෙන්ම අදහසක් ලබා ගැනීම සඳහා ඉදිරි කාලයේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.“ යනුවෙනි.
