කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන බෝහෝ දෙනා තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට මිය යන තුරුම නොදන්නා බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි. එබැවින් යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන අවස්ථාවේ දී ම වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් පීසීආර් පරීක්ෂණය වෙත යොමු වීම වැදගත් බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.
වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මේ බව සඳහන් කළේ, කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, “මං හිතන්නේ ඔබ දකින්න ඇති මාධ්‍යවල පළවෙනවා හදිසියේ ලෙඩ්ඩු පාරේ ඇදන් වැටිලා මැරෙනවා කියලා. ගෙවල්වල මැරෙනවා කියලා. නමුත්, මේ කොවිඩ් වසංගතයේ, කොවිඩ් රෝගයේ තියෙන විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ විශේෂ ලක්ෂණය තමයි මේක විශේෂයෙන්ම හැදෙන්නේ ශරීරයේ පෙනහැල්ලට. මේ පෙනහැල්ලට හැදෙන මූලික අවස්ථාවේ දී රෝගය ඔබේ ඇගේ තියෙනවා සමහරවිට ඔබට රෝග ලක්ෂණ ඒ තරම් නැහැ. රෝග ලක්ෂණ ඇත්තේම නැති වෙන්නත් පුළුවන්.
නමුත් ඔබ නොදැනුවත්වම මේ රෝගයේ භයානක අවධියකට යනවාද කියන එක සොයා ගැනීමට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි, සාමාන්‍ය කෙනෙක්ගේ ඇගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය 95%කට වඩා තියෙන්න ඕනේ. ඔබට මේ කොවිඩ් කියන රෝගයෙන් ඔබේ පෙනහළුවල ආසාදනය වැඩි වෙන්න මූලික අවස්ථාවේ තියෙන කොට මේ ඔක්සිජන් ප්‍රතිශතය 93%ට වඩා අඩු වෙනවා. එතකොට යම් අවස්ථාවක ඔබේ ඔක්සිජන් ප්‍රතිශතය බලා ගත්තොත් කලින්ම ඒකට දෙන්න රෝහල්වල ප්‍රතිකාර තියෙනවා.
ඒ නිසා ඔබ රෝගය හැදිලා රෝහලකට යන්නේ නැතිව, වෛද්‍ය උපදෙස් ගන්නේ නැතිව ගෙදර හිටියොත් ඔබට මේ මූලික අවස්ථාවේ දී රෝගය හඳුනා ගැනීමේ හැකියාව නැති වෙනවා. අන්න එහෙම උනොත්, අවාසනාවන්ත ලෙස හදිසි මරණයකට ලක් වෙන්න පුළුවන්. ඇතැම් වෙලාවකට ඇත්තටම ඔබට හුස්ම ගන්න බැරි මට්ටමකට ආවට පස්සේ රෝහල්වල ප්‍රතිකාර කිරීමේ අපහසුතාවයකුත් එන්න පුළුවන් මෙන්න මේ නිසා ඔබ මේ රෝගයේ ස්වභාවය හොඳින් තේරුම් අරගෙන ඔබට යම්කිසි සැකයක් තියෙනවා නම් ඒ රෝගය හැදිලා තියෙනවා කියලා වහාම පීසීආර් පරීක්ෂණය කරලා වෛද්‍ය උපදෙස් ගන්න. මොකද එතකොට ඔබේ ඔක්සිජන් ප්‍රතිශතය දවසට දෙවරක් බලනවා. එතකොට අන්න ඒ අවස්ථාවේ දී ඔබේ ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙන බව අපි හොයා ගත්තොත් ඒ අයට වහාම ප්‍රතිකාර කිරිම මඟින් මේ රෝගී තත්ත්වය උත්සන්න වීම වළක්වන්න පුළුවන්.” යැයි පැවසුවා.
