Advertise with Giraya
NEWS

පාසල් පැමිණි දරුවන් දෙදෙනෙකුගේ දෙමව්පියන්ට කොරෝනා

පාසල් යළි විවෘත කිරීමෙන් අනතුරුව ඊයේ (23) දිනයේ දී පාසල් පැමිණි එකම පවුලේ ළමුන් දෙදෙනෙකුගේ දෙමාපියන් හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික්ක වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසයි.

අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහන් කළේ තිලකපුර ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිවසට පැමිණීමෙන් අනතුරුව ඔහුව නිවසේ දීම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ බව සඳහන් කරයි. නමුත්, ඊයේ (23) දිනයේ දී පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් දෙමාපියන් දරුවන් දෙදෙනාව පාසල් යවා ඇත.

ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අදාළ ආරක්ෂක අංශ සාමාජිකයාට ඊයේ (23) දහවල් හදිසියේ ඇති වූ අසනිප තත්ත්වයක් හේතුවෙන් ඔහු ඒ පිළිබඳව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කොට ඇති අතර ඒ අනුව, ඔහුව වහාම ගිලන් රථයක් මඟියන් රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇත.

Giraya News Alerts

රෝහලේ දී සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. පසුව ඔහුගේ බිරිඳ පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී ඇයට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක 09 හා 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඊයේ (23) දිනයේ දී පාසල් පැමිණීම හේතුවෙන් ඔවුන් අධ්‍යාපන ලැබූ පන්ති දෙකේ සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට යොමු කිරිමට උපදෙස් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කරයි.

හෙට (24) දිනයේ දී මෙම ළමුන් දෙදෙනා ගේ ද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති අතර ඔවුන්ගේ ප්‍රතිඵල මත ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් වන පන්ති දෙකේ සෙසු සිසු සිසුවියන් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරිමට නියමිත බව ද වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top