ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ප්‍රමාණය මේ වන විට 20,508ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (23) දිනයේ දී නව ආසාදිතයින් 337 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 189 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 89 දෙනෙකු ම අළුත්කඩේ පොලිස්බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මීට අමතරව කොළඹ 13 ප්‍රදේශයෙන් ආසාදිතයින් 22ක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 25ක්, කොළඹ 15 ප්‍රදේශයෙන් 19ක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 15ක්, බොරැල්ලෙන් 14ක්,කිරුළපන ආසාදිතයින් 5ක් ආදී වශයෙන් වාර්තා වී ඇත.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 7022ක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමස්ත ආසාදිතයින් 5597ක් වාර්තා වී ඇත.
මිට අමතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් ද, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11දෙනා බැගින් ද, ආසාදිතයින් 8 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත. තවද, කළුතර හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6 දෙනා බැගින් ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දෙදෙනා බැගින් ද වාර්තා වී ඇත. එසේම, පොළොන්නරුව, අනුරාධපුරය, ගාල්ල හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් වාර්තා වී ඇත.
එමෙන්ම, පොලීසියේ නිලධාරින් 33 දෙනෙකු ද ඊයේ (23) දිනයේ දී වාර්තා වී ඇත. ඔවුන් අතරින් නිලධාරින් 13 දෙනෙකු විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් වේ.
තවද, ඊයේ (23) වාර්තා වූ ආසාදිතයින් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් දෙදෙනෙකු ද වේ. ඉන් එක් අයෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් වේ. අනෙක් ආසාදිතයා තුර්කි ගුවන් කාර්ය මණ්ඩලයේ අයෙකි.
ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5921ක් වේ. ඊයේ (23) දිනයේ දී තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වූ අතර මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 90ක් දක්වා ඉහළ ගියේය.
