කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු ප්‍රවාහනය කළ සේවකයෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හදුනා ගැනීම නිසා දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවා කටයුතු තාවකාලිකව නවතා දමා තිබේ.
දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද(23) වසා දමා තිබුණු අතර එහි සේවයට පැමිණි තැපැල් සේවකයෝ තැපැල් කාර්යාලය ඉදිරිපිට සහ පිටුපස රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.
එහි සේවකයන් කියා සිටියේ පසුගිය දා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයෙන් ලිපි මළු රැගෙන ආ සේවකයා කොවිඩ් වෛරසය ආසාදනය වූ බව මේ වන විට හදුනාගෙන ඇති නිසා මෙම පියවර ගෙන ඇති බවයි.
දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්‍යාලයේ ස්ථානාධිපති සාගර කරුණාරත්නගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ විසබීජහරණ කටයුතුවලින් අනතුරුව තැපැල් කාර්යාලය විවෘත කිරීමට අදහස් කරන බවයි. කෙසේ වෙතත්, ඉදිරි කිසිදු තොරතුරක් තමාට ලබා දීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දඹුල්ල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වාගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු මෙම කාර්යාලයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව යි. ඒ අනුව එහි එක් සේවකයෙකු ඍජුවම එම සේවකයා සමඟ සබඳකම් පවත්වා ඇති බවට දැනට තොරතුරු වාර්තා වී තිබෙන බවයි.
කෙසේවෙතත්, කඩිනමින් දඹුල්ල තැපැල් කාර්යාලයේ සේවකයන්ගේ පි සි ආර් පරීක්ෂණ කටයුතු සිදුකොට ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන බව ද ඔහු සඳහන් කළේය.
-ලංකාදීප-
