Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් තහනම ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ විසින් අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනාව මත පනවා තිබූ නඩුව අද (23) දින කැඳවූ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන හෙයින් ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දී තිබෙනවා.

ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද ජනාධිපති නීතිඥ මාරපන අධිකරණයට භාර දී ඇත. එමෙන්ම මෙම නඩුවේ ඇප ලබාදුන් අවස්ථාවේදී සෑම මාස තුනකට වරක්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවට අධිකරණය මඟින් ඇප කොන්දේසියක් පැනවූ බවත් එම ඇප කොන්දේසිය විත්තිකරු විසින් මේ දක්වා කඩකර නොමැති හෙයින් එය ද ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Giraya News Alerts

එම ඉල්ලීම්වලට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ විරුද්ධත්වයක් දක්වා නොමැත. ඒ අනුව, බැසිල් රාජපක්ෂ වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසත් නියෝග කළේය.

කෙසේවෙතත්, විදෙස්ගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂට නියෝග කර තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top