රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන් අපවත්වීම හේතුවෙන් හිස් වූ මහානායක ධූරය සඳහා දැනට රාමඤ්ඤ නිකායේ අනුනායක ලෙස කටයුතු කරන අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පත්කර තිබෙනවා. ඒ, පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී අද (22) උදෑසන පැවති රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභා රැස්වීමේ දී ය. උන්වහන්සේ රාමඤ්ඤ මහ නිකායේ 14 වැනි මහ නාහිමියන් ලෙස කටයුතු කරනු ඇති.
වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ 1948 අගෝස්තු මස 25 වන දින උන්වහන්සේ උපත ලබා තිබෙනවා. 1959 මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ, 1960 මාර්තු මස 24 වන දින ලෝලුවාගොඩ මහේන්ද්‍රරාමාධිපතිව වැඩවිසූ දිසාපාලක වේවැල්දෙණියේ නන්දසිරි මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද හිමිගේ ආචාර්යත්වයෙන් පැවිදි වුහ.
1974 වසරේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ද, 1976 දී බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී උපාධිය ද, 1976 දී පරියන්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ද ලබාගත් උන්වහන්සේ‍්, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත් වු සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි හිමිකර ගෙන කැලණිය සරසවියට ඇතුළත් විය.
පසුව 1982 දී ගෞරව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ද , 1990 දී එම සරසවියේ දී පශ්චාත් උපාධි ආයතනයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගත්හ. 1969 ජුලි 22 වන දා කොළඹ, තොටලග කල්‍යාණී නදී උදකුක්බේප සීමාමාලකයේ දී උපසම්පදා ලැබූහ.
අපවත් වී වදාළ නාපානේ පේමසිරි හිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (22) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කුණ්ඩසාලේ ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
