Advertise with Giraya
NEWS

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200ක් ලබා ගත් සිසුන් 10ක්

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කිහිප වතාවක් කල් දැමීමෙන් අනතුරුව පසුගිය ඔක්තෝම්බර් 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්විණි. ඒ සඳහා සිසුන් 331,741 ක් ඉල්ලුම් කර තිබූ අතර, සිසුන් 326,264 ක් පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඊයේ නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් 20,000 කට ශිෂ්‍යාධාර හිමි වන අතර ශිෂ්‍යාධාර 250 ක් වෙන් කෙරෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා ය.

එමෙන්ම, නිකුත් වූ ප්‍රතිඵල අනුව මෙවර ලකුණු 200ක් ලබා ගත් සිසුන් 10 දෙනෙකු සිටින බව වාර්තා වේ. එම සිසුන් 10 දෙනා මෙසේ ය.

Giraya News Alerts
  • ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ සියති විතුම්සා සිසුවිය
  • ඉංගිරිය සුමනජෝති විද්‍යාලයේ දෙව්ලි යසස්මි සිසුවිය
  • රත්නපුර ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා සිසුවිය
  • ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිඳු චිරන්ජිත් සිසුවා
  • මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් අමර්
  • දිඹුලාගල සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තේනුජ මනුමිත
  • ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා
  • තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන්
  • බණ්ඩාරගම ජාතික පාසලේ හිනුධ සස්මිත ගුණතිලක
  • නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මාහ විද්‍යාලයේ අකුරැස්ස හේවගේ සිහත් සන්ධිනු

මේ අතර ප්‍රතිඵල සකස් කිරීමේදී මෙවර දිවයිනේ හෝ දිස්ත්‍රික්ක වශයෙන් සිසුන්ගේ මට්ටම ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයක්. ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව, දිස්ත්‍රික්කය සහ මාධ්‍ය අනුව අදාළ කඩඉම් ලකුණු සමඟයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් වූ අතර, පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීම සඳහා කඩඉම් ලකුණුද විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබුවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 169 ක් ලෙස සටහන් වනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 165 ක් වන අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 164 ක් ලෙසයි. පුත්තලම, අනුරාධපුරය, පොලොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු සංඛ්‍යාව 163 ක්. මොණරාගල දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 162 ක් ලෙස සටහන් වන අතර, නුවරඑලිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණු සංඛ්‍යාව 161 ක්. මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 157 ක්.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අදාළ පාසල්වලට බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛණ ඉදිරියේදී තැපැල් කර එවීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබද නැවත පරීක්‍ෂාවක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම්දීමට නියමිතයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top