බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය ගණන 50,000 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. එරට රජය විසින් නිකුත් කළ නවතම වාර්තා වලින් දැක්වෙන පරිදි බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 50,365 වේ.
පසුගිය පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයෙන් මරණ 595ක් සිදුව තිබෙන අතර ඒ අනුව යුරෝපයේ මරණ 50,000 වාර්තා කළ ප්‍රථම රට බවට බ්‍රිතාන්‍ය පත්ව තිබෙනවා. මීට පෙර මරණ 50,000 සීමාව පසුකර තිබුණේ ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවයි.
“සෑම මරණයක්ම ඛේදවාචකයක්,” යනුවෙන් අගමැති බොරිස් ජොන්සන් පැවසීය.
විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයේ සෑම මරණ 10කින්ම නවයක් වයස 65ට වැඩි පුද්ගලයන්ගේ බවයි. අගුලු දැමීම ප්‍රමාද වීම සහ රෝගීන් ලුහුබැඳයෑම කාර්යක්ෂමව සිදුනොවීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව ද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වසංගතය ආරම්භයේ සිට මේ දක්වා බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන 1.2ක් පමණ තහවුරු වී තිබෙනවා. පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් 22,950ක් වාර්තා විය.
