කොවිඩ් – ආසාදිත වූ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා වන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්” හෙවත් ‘”ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය” මෙරට තුළ භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව අවසර ලබා දී තිබෙනවා.
සිදුකරන ලද රසායානාගාර පරීක්ෂාවකින් අනතුරුව ඊයේ (10) දිනයේ දී අදාළ අවසරය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.
එම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාවක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවීමෙන් පසු අදාළ පරික්ෂණ කට්ටල මෙරට රජයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිත කිරීමට හැකියාව පවතින බව වෛද්‍ය සමන් රත්නායක පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය සමන් රත්නායක,
“ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිය සහතික කරන ලද තාක්ෂණික ඇගයීම් සඳහා අපි ක්ෂණීක ප්‍රතිදේහ කට්ටල එහෙම නැතිනම් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් අපේ අනුක වෛද්‍ය රසායනාගාර 4ක් සඳහා අපි යැව්වා. ඒ පරීක්ෂණයෙන් ප්‍රතිඵල අපේ තාක්ෂණික ඇගයීම් කමිටුවට ලබාදුන්නා. ඊට පස්සේ අපි තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ශ්‍රී ලංකාව තුළ පාවිච්චි කිරීමට අවශ්‍ය නිර්දේශය ලබාදුන්නා. එම නිරේදේශය මත ඒවා කුමන ආකාරයෙන් ද ශ්‍රී ලංකාවේ රෝහල්වල ඒ වගේම පෞද්ගලික රෝහල්වල ක්‍රියාත්මක කරන්න ඕනේ කියන මඟපෙන්වීමක් සකස් කරලා මේ වෙනකොට අපි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අපි ලබා දීලා තියෙනවා. එතුමාගේ අත්සනින් ඒක නිකුත් වුණාම ලංකාවේ රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක භාවිත කරන්න පුළුවන් වෙනවා.“
