Advertise with Giraya
NEWS

“භූමදානයට තැනක් හොයන්න ජනපති උපදෙස් දීලා”, රජය එවැනි තීරණයක් ගෙන නෑ – වෛද්‍ය ජයරුවන් කියයි

කොරෝනා වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත ශරීර ආදාහනය නතර කරන ලෙස මුස්ලිම් ප්‍රජාව විසින් කරන ලද ඉල්ලීම්වලට අනුව එම මෘත දේහ භූමදානය සඳහා ඉඩ ලබා දීම සඳහා රටේ ඕනෑම ප්‍රදේශයක වියළි ඉඩමක් වෙන් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(09) සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇති බව ඩේලි මිරර් වෙඩ් අඩවිය පවසයි.

ඊයේ සවස පැවති කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇති අතර, වෙනත් රටවල සිදු කෙරෙන භූමදාන කටයුතු පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කර ඇති බව ද වාර්තා කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් මේ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී මුලින්ම කරුණු ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාව ද වෙනත් රටවල සිදුකරන භූමාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමට අපේක්ෂා කරන බවට සංඥා කර ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Giraya News Alerts

එසේම, මුස්ලිම් ප්‍රජාවට COVID-19 හි මෘත දේහ භූමදාන කිරීම සඳහා නැගෙනහිර දක්වා වූ ප්‍රදේශයේ සුදුසු වියළි ඉඩමක් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර ඇති බව ද ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇති අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සහ මුස්ලිම් ආගමික නායකයින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතව ඇති බව එහි සඳහන්.

මේ අතර, වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ප්‍රජාවගේ මෘත දේහ භූමදානය කිරීම සඳහා රජය අවසර දී ඇති බව මුලින්ම අනාවරණය වී තිබුණේ නොවැම්බර් 09 දින සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූති කරමින් යොමුකළ ලිපියකිනි.

එම නිවේදනය මගින් තව්හීද් ජමාත් සංවිධානය කියා තිබුණේ “ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය ගරු කරමින් මුස්ලිම් ජනතාවගේ හැඟීම් අවබෝධ කරගෙන මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා දුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, ගරු අධිකරණ ඇමති නීතිඥ අලි සබ්රි මැතිතුමා ඇතුළු වත්මන් රජයටත් මුස්ලිම් ජනතාව වශයෙන් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය ස්තූතිය පුද කර සිටින” බවයි.

සිලෝන් තව්හීද් ජමාත් සංවිධානය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්, එම සංවිධානය පළ කළ සටහන මෙතැනින්.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ රජය මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැති බවයි. එවැනි අවසරයක් ද මෙතෙක් ලබා දී නැති බව ඔහු සඳහන් කළා.

නමුත් මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය වාර්තා රැසක් පළ වී ඇති අතර මුස්ලිම් සිරුරු ආදාහනය කිරීම වෙනුවට භූමදානය කිරීමට අවසර දී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සනාථ කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර නැත.

කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ආදාහනයට අවසර දුනහොත් එය 20 වන සංශෝධනයට සහය දුන් මුස්ලිම් මන්ත්‍රීවරුන් ලබා ගන්නා ජයග්‍රහණයක් බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top