කොවිඩ් – 19 වෛරසය ආසාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, මෙරට තවත් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මරණ 4ක් සිදු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් තහවුරු කිරීමෙන්ය.
ඒ අනුව, අදාළ මරණ පිළිබඳව විස්තර පහතින් දැක්වේ.
31 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42ක් වයසැති කාන්තාවකි. දීර්ඝ කාලීනව හෘද රෝගයකින් පෙලී ඇත. සිය නිවසේ දී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘද රෝගය සමඟ කොවිඩ් – 19 ආසාදනය වීමයි.
32 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 69ක් වයසැති කාන්තාවකි. දීර්ඝ කාලීනව රෝගාබාධ රාශියකින් පෙලී ඇති අතර එම රෝග තත්ත්වය උත්සන්න වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම සමඟ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම වේ.
33 වන කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 67ක් වයසැති පිරිමි පුද්ගලයෙකි. දීර්ඝ කාලීන රෝගාබාධයන්ගෙන් පෙලී ඇත. කෙටි දින ගණනක් උණ රෝගයෙන් පෙලි ඇති අතර නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම සමඟ නියුමෝනියා තත්ත්වය උත්සන්න වීම වේ.
34 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 88ක කාන්තාවකි. මිනුවන්ගොඩ ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකි. නිරෝධායනය අතරතුරදී ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ලග්ගල පල්ලේගම රෝහලට ඇතුළත් කර සිටියදි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අංගොඩ ජාතික උණ රෝහලට මාරු කර එවා ඇති අතර එහිදී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂ වීමකි.
