මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් දෙවන වරට ආරම්භ වූ කොරෝනා වසංගතය රටේ ජනතාවගේ ජීවිත වලට දැඩි තර්ජනයක් එල්ල කරමින් ව්‍යාප්ත වී ඇති බවට දැඩි සැකයක් මතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඉහළම ප‍්‍රමුඛතාවයක් ලබාදී විමර්ශන සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (05) වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිඛිතව උපදෙස් ලබා දීමට කටයුතු කළේ ය.
ඒ සම්බන්ධයෙන් තමා විසින් පසුගිය 29 දා කරනු ලැබූ නියෝගය අනුව මෙතෙක් විමර්ශනයක් ආරම්භ කොට නොමැති බව දැන ගන්නට ලැබී ඇතැයිද සිය ලිපිය මගින් පෙන්වාදී තිබූ නීතිපතිවරයා එකී විමර්ශනය සඳහා පත්කරනු ලබන නිලධාරීන් කණ්ඩායමේ නාමලේඛනය වහාම තමා වෙත ඉදිරිපත් කරනා ලෙසටද වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
එකී විමර්ශනය සඳහා පත්කරනු ලබන නිලධාරීන් කණ්ඩායමට අවශ්‍ය මඟපෙන්වීම හා නීතිමය උපදෙස් ලබාදීම රටේ නීතිපතිවරයා ලෙස තමන්ගේ වගකීමක් බව පවසමින් නීතිපතිවරයා එම නියෝගය පොලිස්පතිවරයා වෙත නිකුත් කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ඊයේ (05) සඳහන් කළාය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 40කට ආසන්න සංඛ්‍යාවකට මේ වනවිට කොවිඩ් -19 වෛරසය වැළඳී තිබීම හේතුවෙන් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීම යම් ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි.
මෙම විමර්ශනයේදී සාක්ෂි සටහන් කරගැනීමට සිදුව ඇත්තේ මිනුවන්ගොඩ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන් බැවින් මෙම ගැටලු මතුව ඇති බව ඔහු සඳහන් කළේය.
එහිදී නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ “මේ පිළිබඳව නීතිපති උපදෙස් ලැබුණු විගස විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කළා. නමුත් එතන පොඩි ප්‍රශ්නගත තත්ත්වයක් තියෙනවා. ඔබ දන්නවා කොළඹ අපරාධ කොට්ඨාසයෙත් මේ වනවිට 40කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ අපරාධ කොට්ඨාසයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමුකළ නිලධාරීන්. ඉතින් එතකොට ඒ සඳහා ක්‍රියාකරන්න අමාරුයි. ඊළඟ කාරණය තමයි මේ සඳහා සාක්ෂි සටහන් කරන්නත් වෙන්නේ මිනුවන්ගොඩ ඒ කර්මාන්ත ශාලාවේ ඉන්න යම් යම් ආකාරයේ සේවකයින්ගෙන්. මේ නිසාත් යම් ප්‍රමාදයක් තියෙනවා. කෙසේවෙතත් මේ විමර්ශනය කරගෙන යෑමට තමයි පොලිස්පතිතුමා දැනුම්දීලා තියෙන්නේ. කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂවරයා දැනුම් දීලා තිබ්බා ආසාදිත තත්ත්වයත් එක්ක ඇතිවුණු අපහසුතාවය ගැන. නමුත් අනිවාර්යයෙන්ම ඒ විමර්ශනය අඛණ්ඩව සිදු කිරීමට තමයි පොලිස්පතිතුමා තීරණය කරලා තියෙන්නේ.” යනුවෙනි.
කොවිඞ් 19 වසංගත තත්ත්වය රට පුරා පැතිර යෑමට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරේ සම්බන්ධතාව කුමන ආකාරයෙන් බලපා ඇති දැයි අනාවරණය කරගැනීම සඳහා පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පත්කරන ලෙසට නීතිපතිවරයා පසුගිය 27 වැනිදා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි. එකී නියෝගය ප‍්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබූ නමුත් එම කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනකු කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීම නිසා වෙනත් විමර්ශන කොට්ඨාසයකින් නිලධාරීන් කණ්ඩායමක් එකී විමර්ශන සඳහා පත්කිරීමට පියවර ගන්නා ලෙසට නීතිපතිවරයා පසුගිය 29 වැනිදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබිණි.
