රජය ප්රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සිදු වන බවයි ඔවුන් පවසන්නේ.
ඔවුන් සඳහන් කරන්නේ මේ වන විට සහල් නිෂ්පාදනය කරන ප්‍රධාන දිස්ත්‍රික්කයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාඩු වී කිලෝවක මිල රු.60ක් ද, සම්බා වී කිලෝවක් රු.70ක් ද, කීරි සම්බා වී කිලෝවක් රු.80ක් පමණ වන බවත්ය. එබැවින්, රු.60කට පමණ ගන්නා වී කිලෝවක් නිෂ්පාදන පිරිවැය දැරූ පසුව රු.101.50 ක් පමණ මිලකට වෙළඳපොලකට නිකුත් කිරීමට සිදු වෙන බවත් ඔවුන් සඳහන් කරයි.
රජය ප්රකාශයට පත් කළ පාලන මිල ගණන් යටතේ වී මෝල් හිමියන්ට පාඩුවක් සිදු වන බැවින් බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනකරුවන් සහල් නිෂ්පාදනයෙන් ඉවත්වීමට සිදු වන බවත් එබැවින් ලබන සතිය පමණ වන විට රටේ සහල් හිඟයක් පැවතීමට බොහෝ දුරට ඉඩකක් පවතින බවත් ඔවුන් අවධාරණය කරයි. එහිදී, රජය විසින් පාලන මිල පවත්වා ගැනීමට ආනයනය සඳහා යොමු වීම මෙහි අරමුණ බවත් වී මෝල් හිමියන් චෝදනා කරයි.
කෙසේවෙතත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (05) ප‍්‍රකාශ කළේ වැඩි මිලට සහල් අළෙවි කරන වෙළඳුන් සොයා ලබන සදුදා සිට වැටලීම් ආරම්භ කරන බවයි.
ඉකුත්දා නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ දැක්වුණේ කැකුළු සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල රුපියල් 89 ක් ලෙසයි. නාඩු සහල් කිලෝ ග‍්‍රෑම් එකක් සඳහා රුපියල් 92 ක උපරිම විකුණුම් මිලක් නියම කර තිබෙනවා. එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක උපරිම විකුණුම් මිල වන්නේ රුපියල් 94 ක් වනවා.
