ලංකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති නොකරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
එසේ නොකරන්නේ නම්, තාක්ෂණික කමිටුවල සිටීමේ තේරුමක් නොමැති බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (3) රැස්වී මෙම තීරණය ගත් බව ද ඔහු සඳහන් කළේය.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළව නිවැරදිම තීරණ ගත හැක්කේ දිනපතා වාර්තා වන රෝගීන් සිතියම් ගත වුවහොත් පමණක් බව කී වෛද්‍ය හරිත අලුත්ගේ, මෙම සිතියම් ක්ෂේත්රයේ සිට යතාවත් කිරීම නිවැරදිම ක්‍රමවේදය යැයි ද සඳහන් කළේය.
කොරෝනා රෝගීන් වාර්තා වන ආකාරය ජී.පී.එස්. තාක්ෂණය යටතේ සිතියම්ගත කළහොත් රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේද දිස්ත්‍රික්කයේද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේද, ග්‍රාම නිලධාරී වසමේ ද ආදී වශයෙන් මනාව අවබෝධ කරගෙන හුදෙකලා කළ යුතු ස්ථාන ආදිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකිවන බව ද අලුත්ගේ පැවසීය.
