Advertise with Giraya
NEWS

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් ආසාදිතයෙක් වාර්තා වෙයි

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනෙයේ සේවය කරන සේවිකාවකට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ, සේවිකාවන් දෙදෙනකුට සිදු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ඉන් එක් අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

ඔවුන්ට කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීම හේතුවෙන් ගාල්ල මහමෝදර රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහිදී පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ. ඒ අනුව, ඊයේ (29) දිනයේ දී ලැබී ඇති එහි ප්‍රතිඵල අනුව එක් සේවිකාවකට වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති අතර ඇයව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනෙක් සේවිකාව දැනට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඇයට තවත් පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

Giraya News Alerts

ආසාදිත සේවිකාවගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 62 දෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා සාම්පල ලබාගෙන ඇති අතර එම සාම්පල ගාල්ල කරාපිටිය රෝහලට හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යවා ඇත.

මෙම සේවිකාවන් දෙදෙනා ගාල්ල රත්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක රැඳී සිටි ඇති අතර ඔවුන් ආයතනයේ ප්‍රවාහන සේවයෙන් සේවය සඳහා පැමිණ ඇත. එම බස් රථයේ තවත් සේවකයින් 75-100ත් අතර ප්‍රමාණයක් ගමන් කර ඇත.

එමෙන්ම, එම ආසාදිත සේවිකාව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට සම්බන්ධ නොවන අයෙක් බවත් බොහෝදුරට මිනුවන්ගො බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආශ්‍රිතයෙකු වන්නට ඇති බවට සැක පළ කරන බවත් වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කරයි.

කොග්ග්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් 1500ක් පමණ සේවය කරන අතර සෞඛ්‍ය අංශයන්ගෙන් වැඩි දුර උපදෙස් ලැබෙන තුරු කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනය වසා දැමීමට කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනය තීරණය කර ඇත. පීසීආර් පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල ලැබුණු පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කටයුතු කිරීමට තීරණය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top