කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔවුන් සියලුදෙනා පුනානි නිරෝධායන කඳවුර වෙත යවා ඇත.
එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපන ශාලාව කරගෙන යන තැනැත්තා පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳසැළට ගොස් මාළු ගෙනැවිත් ඇති බැවින් ඔහුගෙන් මෙම පිරිස වෙත රෝගය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.
කෙසේවෙතත්, ආපනශාලා හිමියාගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුට වෛරසය ආසාදනය වී නොමැති අතර ඔහුගේ සමීපතමයින් ලෙස හඳුනාගත් පිරිස අතරින් මොවුන් පස්දෙනාට වෛරසය ආසාදනය වී ඇත.
මේ අනුව ආසාදිතයන් ගේ සමීපතමයින් ද පීසීආර් පරික්ෂණවලට යොමු කළ බවත් මත්ස්‍ය වෙළඳපොලට ගිය බැවින් පළමුවෙන් පරික්ෂාවට ලක් කල තැනැත්තා ද යළි පරික්ෂාවට ලක්කළ බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මේ වනවිට මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල වසා ඇති බවත් දැනට පීසීආර් පරික්ෂණ සඳහා යවා ඇති සාම්පල පිළිබඳ වාර්තා ලැබුනු පසු තවදුරටත් එම ගොඩනැගිල්ල වසා දමන්නේ ද නැද්ද යන්න ගැන තීරණයකට එළඹෙන බව කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.
මේ අතර, වැඩ කරන ජනතාවගේ අරමුදල් ලබා ගැනීමට අයදුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලය අමතා වේලාවක් වෙන් කර ගෙන යන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.
