පෑලියගොඩ ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ අණ නොතකා ධාවනය කළ ත්‍රී රෝද රථයක් නැවැත්වීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. එම අවස්ථාවේ දී ත්‍රී රෝද රථයේ ගමන් ගත් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙක් පලා ගොස් තිබෙනවා.
පසුව පලා ගිය දෙදෙනා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4ක් සොයා ගෙන තිබෙනවා.
මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 924 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “පසුගිය පැය 24 ඇතුළ දී පුද්ගලයින් 165ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කිරීමට අදාළව. ඒ වගේම, වාහන 30ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පැනවූ ඔක්තෝම්බර් 4 වන දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 924ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාහන 140ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. විශේෂයෙන්ම සංචරණ සීමා ඇති ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ තුළ වාහන නැවැත්වීම ඒ වගේම වාහන වලට මගීන් නංවා ගැනීම හෝ බැස්වීම නොකළ යුතුයි. එසේ සිදු කරන ලද වාහන 30ක් ඊයේ දිනයේදී පොලිස් භාරයට ගනු ලැබුවා. විශේෂයෙන්ම එවැනි ආකාරයට අදාළ ප්‍රදේශ හරහා ගමන් කිරීමේ දී ඇඳිරි නීති සීමාවන් උල්ලංඝනය කළහොත් එම වාහන මෙන්ම එම වාහන පදවන අය පොලිස් භාරයට ගැනීමට කටයුතු කරනු ලබනවා.” යැයි පැවසුවා.
