20 වැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අත එසවීම ජාතික සංවිධාන එකමුතුවට අනුව නිවැරදි නොවිය හැකි නමුත් තම හෘද සාක්ෂිය අනුව එය ඉතාමත් නිවැරදි බව පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ, ඊයේ (22) දිනයේ දී ජාතික එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් ආචාර්ය සරත් වීරසේකර වෙත ෆේස්බුක් හරහා එවා තිබූ විවෘත ලිපියට පිළිතුරු සපයමින් ය.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තමන් අත එස වූයේ එහි ඇතුළත් කරුණු සියල්ලටම තමන් විරුද්ධ වූ නිසා බවත් එය සම්පූර්ණයෙන්ම ඉවත් කොට දැනටමත් පත් කර ඇති ව්‍යවස්ථා මණ්ඩලය මඟින් රටට හිතකර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට බවත් ය. තවද, කරුණු 3ක් හැර 19ට පෙර තිබූ ව්‍යවස්ථාවේ අඩංගු නොවන කිසිදු කරුණක් 20 වන සංශෝධනයේ ඇතුළත් නොවන බවත් 2015 ට පෙර විධායක ජනාධිපතිවරුන් ට තිබු බලයට වඩා අංශු මාත්‍රයකවත් වැඩි බලයක් ජනාධිපතිට ලැබෙන්නේ නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය පිළිතුරු ලිපියෙහි සඳහන් කරයි.
දහනමය සම්පූර්ණයෙන් අහෝසි කොට රට 19 ට පෙර තත්වයට ගෙන ඒමට අවශ්‍ය වන්නේ ජනතාවට බවත් එම ලිපියේ සඳහන් කරයි. දහනමය ට පෙර 1978 සිට 2015 දක්වා ජනපතිවරුන්ට තිබූ විධායක බලය ගෝඨාභයට දිය යුතු බවත් රට අරාජික කල 19 අහෝසි කොට 19 ට පෙර තිබූ ව්‍යවස්ථාමය තත්ත්වයට යළිත් රට ගෙනැවිත් ඒ රට සංවර්ධනය කිරීමේ වගකීම ජනපතිට සහ රජයට භාර දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර යොමු කළ විවෘත ලිපිය මෙතැනින්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර එයට යොමු කළ පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.
ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර විසින් මුහුණු පොත හරහා මාහට එවන ලද ලිපියට මෙසේ පිළිතුරු ලියමි.
ඔබතුමා මා හට විවෘත ලිපියක් මඟින් ආමන්ත්‍රණය කරමින් මා විසින් අන්තර්ජාලය හරහා කරනු ලැබූ විවෘත/ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිවැරදි කිරීම සඳහා බව පවසයි.
ඔබතුමා පැවසූ පරිදි මා හට යලිත් අම්පාරෙන් නොව කොළඹින් තරඟ කොට මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් ලබාදුන් සහය අතිශයින් අගය කරමි. එසේම ජාතික සංවිධාන එකමුතුවෙහි කැඳවුම්කරු වශයෙන් මා, ඔබ සමග වසර ගණනාවක් ජාතික මෙහෙයෙහි යෙදුණු හැටිද මේ අවස්ථාවෙහි මතක් කර දෙනු කැමැත්තෙමි.
මා අන්තර්ජාලය හරහා ප්‍රකාශ කළේ දහනව වන සංශෝධනයට එරෙහි වූ එකම මන්ත්‍රීවරයා ලෙස විසිවන සංශෝධනයෙන් 19 අහෝසි වනවා නම් ඊට පළමුව අත ඔසවන්නේ මාය කියාය. ඔබට අනුව එය නිවැරදි නොවිය හැකි මුත් මගේ හෘද සාක්ෂියට අනුව එය ඉතාමත් නිවැරදි ය.
ඔබට අනුව විසිවන සංශෝධනය ට, දහනව වන සංශෝධනයෙහි තිබූ හොඳ දේවල් ඉතුරු කොට නරක දේවල් පමණක් ඉවත්කළ යුතු වේ. දහනමයෙහි හොඳ දේවල් තිබේ නම්, එදා 19ට විරුද්ධ වූ මා වීරයකු ලෙසත් ඊට පක්ෂව ඡන්දය දුන් සැවොම රට පාවා දුන් අය ලෙසත් හංවඩු ගැසුවේ ඇයි ද යන ප්‍රශ්නය මතුවේ. එය නිර්මාණය කළ ජයම්පති වික්‍රමරත්න ට දෝෂාරෝපණය කළේ ඇයි? ඔබගේ තර්කය, පැණි ස්වල්පයක් ආලේපනය කළ පුඩිමක් සම්පූර්ණයෙන් විසි කරනු වෙනුවට පැණි ටික පමණක් තෝරා බේරා පුඩිම පමණක් විසි කිරීම ය. නමුත් මාගේ ස්ථාවරය වූයේ සමස්ත දහනමය හෙවත් එම පැණි තැවරූ කුණුවූ පුඩිම මුළුමනින්ම විසිකොට ඉදිරියේදී දැනටමත් පත්කර ඇති ව්‍යවස්ථා මණ්ඩලය මගින් රටට හිතකර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමය.
ඔබ පවසන පරිදි විසිවන සංශෝධනයෙහි කරැනු තුනක් හැර (එනම් පාර්ලිමේන්තු කාලය වසර 5 දක්වා, ජනාධිපතිට දෙවරකට වඩා නොහැකි සහ තොරතුරු දැනගැනීමේ පනත) 19 ට පෙර ව්‍යවස්ථාවේ නොතිබූ කිසිම දෙයක් ඇතුළත් කොට නොමැත. වර්තමාන ජනපතිට එසේ නම් ලැබෙන්නේ දහනමය ට පෙර තිබූ ව්‍යවස්ථාමය තත්ත්වයමය. 2015 ට පෙර විධායක ජනාධිපතිවරුන් ට තිබු බලයට වඩා අංශු මාත්‍රයකවත් වැඩි බලයක් ජනාධිපතිට ලැබෙන්නේ නැත. ජනතා සැකයක් මතු වූයේ 19 වැනි සංශෝධනයෙන් ඇතුල් කළ සංශෝධන, වගන්තියෙන් වගන්තිය ඉවත් කළ යුතු වූ නිසා සහ එවිට ඒ පිළිබඳව වැරදි අවබෝධයක් ජනතාව තුල ඇති වූ නිසාය. ජනතා විරෝධයක් මතු වූයේ එම වැරැද්ද නිවැරදි කරනු වෙනුවට ජාතික සංවිධාන වල ඇතැමුන් සහ රජයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට උඩගෙඩි දුන් නිසාය.
ඔබ ප්‍රධාන වශයෙන් විරෝධය දක්වන කරුණු තුනෙන් පළමුවැන්න රාජ්‍ය සමාගම් විගණනය යි.රාජ්‍ය සමාගම් විගණනය විසිවන සංශෝධනය මගින් කිසිසේත්ම වලකා නොමැත. 19 ට පෙර 1978 සිට 2015 දක්වා සමාගම් විගනණය වූයේ නැද්ද? විගණනය වූ බව ඔබ පිළිගන්නවා නම් විස්සෙන් 19 ට පෙර තිබූ ව්‍යවස්ථාමය තත්ත්වයම උදා වේ නම්, විස්සෙන් සමාගම් විගණනය තහනම් කොට ඇතැයි පවසන පදනම කුමක්ද?
විස්සෙන් සමාගම් යන වචනය ඉවත් කලේ 19 ට පෙර එය නොතිබුණු නිසා සහ එය අනවශ්‍ය නිසාය. මන්ද, 50% කට වඩා වැඩි කොටස් ඇති ඕනෑම පාලිත සමාගමක් එහි රජයේ මව් ආයතනය සමඟ ඒකාබද්ධ ගිණුමක් සෑදිය යුතු අතර එම ඒකාබද්ධ ගිණුම විගනකාදි වරයා විසින් විගණන ගිණුම් ප්‍රමිතීන්ට අනුව අනිවාර්යෙන්ම විගණනය කළ යුතු වේ. එසේම 2018 අංක 19 දරණ ජාතික විගණන පනත මගින් සියලුම ජනපති, අගමැති කාර්යාල, සහ සමාගම් , විගණකාධිපතිවරයාට විගණනය කිරීම සඳහා බලය පවරා ඇත.
මේ බැව් සනාථ කරන්නේ වෙන කවුරුත් නොව රජයේ ප්‍රධාන විගනකාධිපති වරයාය. එසේනම් ඔබ විසින් සමාගම් විගණනය කිරීම ඉවත් කර ඇතැයි යන ප්‍රකාශය සහ සමාජය තුළ ඇතිකල මතය ඉතා සාවද්‍ය වේ. ඔබගේ මතය නිවැරදි නම් විගනකාධිපති වරයා කියා ඇත්තේ බොරු ය. ඒ නිසා බරපතළ ජාතික අවශ්‍යතාවයක් මා විසින් අත්හැර දමා ඇතැයි ඔබට පහළ වී ඇති වේදනාව කරුණාකර පහ කරගන්න.
ඔබ වෛද්‍යවරයෙකු ලෙස ජාතියට යම් මෙහෙයක් කළා ද, මා ද වසර තිස් නවයක් දිවි පරදුවට තබමින්, පවුල් නිදහස අත්හරිමින් ,ජාතිය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ අයෙක්මි. ඉන්පසුව ද රට වෙනුවෙන් දේශීයව සහ විදේශීයව පෙනී සිටිමින් කළ මෙහෙය ඔබ හොඳාකාරව දනී. මට වේදනාවක් ඇති වන්නේ මා ගැන එසේ හොඳින් අවබෝධ කර තිබියදීත් මා ළඟින් ඇසුරු කර මිතුරෙක් ලෙස මාහා දුරකථනයෙන් හෝ කතා නොකොට මුහුණුපොත හරහා ජනතාව ඉදිරියේ මට එවන් චෝදනාවක් කිරීම නිසාය.
ඔබ කරුණු තුනක් ගැන සඳහන් කර තිබුණත් ඔබ පවසා ඇත්තේ සමාගම් විගණනය පිළිබඳව පමණි. විසිවන සංශෝධනය යෙහි සමාගම් යන වචනය ඇතුලත් වුවත් නැතත් සියයට පනහකට වඩා රජයට කොටස් හිමි සමාගම් අනිවාර්යයෙන්ම, විවිධ පනත්, ප්‍රමිතීන් සහ නීති අනුව විගණකාධිපතිවරයාට විගනණය කිරීමට බලය තිබේ. අපේ ව්‍යවස්ථාවේ 153 (2) (ඇ) අනුව පනත ප්‍රකාරවද විගණන කටයුතු කිරීමට විගණකාධිපතිවරයාට බලය ලබාදී තිබේ.
දහනවවන සංශෝධනය ට පූර්ණ සහාය ලබාදුන් සජිත් ප්‍රේමදාස පරාජය කොට හැටනම ලක්ෂයක් ජනතාව ගෝඨාභයට ඡන්දය දුන්නේ 19 අහෝසි කොට රට නැවත ගොඩ ගැනීමට ය. මහ මැතිවරණයේදී දහනමයේ නිර්මාතෘ වරයෙකු රනිල් වික්‍රමසිංහ ඉතිහාසයේ කිසිදා මූණ නොපෑ පරාජයකට පත්ව අසුනක් වත් හිමි නොවූයේ ජනතාවට දහනමය එපා වූ නිසාය.
වසර හතළිස් හතරක් කොළඹින් පිට සිට කොළඹට විත් මාස හයෙන් ඡන්ද තුන් ලක්ෂ විසි අට දාහක් ලබමින් කොළඹින් ප්‍රථමයා සහ මුළු රටෙන්ම දෙවෙනියා බවට මා පත් වූයේ මා දහනමය ට මුළුමනින්ම විරුද්ධ වූ නිසා මිස එහි නරක දේවල් වලට පමණක් විරුද්ධ වූ නිසා නොවේ.
එසේනම් දහනමය සම්පූර්ණයෙන් අහෝසි කොට රට 19 ට පෙර තත්වයට ගෙන ඒමට අවශ්‍ය වන්නේ ජනතාවටයි. එය ඔබගේ අවශ්‍යතාවය නොවිය හැක.
දහනමය ට පෙර 1978 සිට 2015 දක්වා ජනපතිවරුන්ට තිබූ විධායක බලය ගෝඨාභයට දිය යුතුය. රට අරාජික කල 19 අහෝසි කොට 19 ට පෙර තිබූ ව්‍යවස්ථාමය තත්ත්වයට යළිත් රට ගෙනැවිත් ඒ රට සංවර්ධනය කිරීමේ වගකීම ජනපතිට සහ රජයට භාර දිය යුතුය. මා පාර්ලිමේන්තුවේ සිටින තාක්කල් රට පාවාදෙන ගිවිසුම් නීති වලට සහාය නොදෙන බව ඔබ හොඳින් දන්නා කරුණකි. ජාතික සංවිධාන වශයෙන් ඔබ සැම ජනපතිට තම පූර්ණ ආශිර්වාදය සහ සහාය දිය යුතු වේ. රජය වැරදි මගක යන්නේ නම් එයට විරුද්ධ වීමට ඔබ සමග මාත් එකතු වෙනවා ඇත.
– රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර —
