කොවිඩ් – 19 ආසාදිතයින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වීම හේතුවෙන් වෛරසය තවත් දිස්ත්‍රික්ක කරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
කොවිඩ් 19 ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු වාර්තාවීමත් සමග එම ස්ථානයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
යම් ආකාරයකින් රෝග ව්‍යාප්තියක් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා එම පරීක්ෂණ සිදුකළ බවත් ඒ අනුව ඊයේ දිනය වන විට පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
“අපි මීට කලින් සොයා ගත් රෝගීන් කිහිපදෙනෙක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළය ආ ගිය බවට තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ඇතැන යම් ආකාරයකින් රෝග ව්‍යාප්තියක් සිදුවන්නේ දැයි හඳුනාගැනීම සඳහා තමයි පීසීආර් සිදුකළේ. එම පීසීආර් පරීක්ෂණ අද දවසේ තවත් පුළුල් කරා. එහි ප්‍රතිඵල අද හෝ හෙට ලැබේවි. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් එතැන කොපමණ ව්‍යාප්ත වෙලා තියෙනවා ද කියලා. එතැන දී වැදගත්ම දේ තමා මාළු මධ්‍යස්ථානයට රට පුරා සිටින වෙළෙඳුන් මාළු ගෙනනවා. ඒ වගේම එතැනින් මාළු අරගෙන ගොස් රට පුරාම අලෙවි කරනවා. ඒ නිසා යම් ආකාරයකින් ආසාදිත අය ඉන්නවා නම් ඔවුන් දිස්ත්‍රික්ක පුරා පැතිරෙන්න පුළුවන්. “
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා සිටියේ, මිනුවන්ගොඩ ආසාදිතයින් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
“රෝගීන් අපිට වාර්තා වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශේෂයෙන්ම. නමුත් එතැනින් ඔබ්බට ගිහින් කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, නුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව හා මොනරාගල වැනි දිස්ත්‍රික්ක 13 කින් අපිට වාර්තා වෙනවා. මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග මේ රෝගය තවත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වීමේ ඉඩකඩ තියෙනවා.“
මේ වන විට, සමස්තයක් ලෙස මුළු දිවයින පුරා 425,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, ඊයේ (21) දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 8000ක් සිදුකළ බව ද පැවසීය.
