තමන් අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර භාර ගැනීමට පෙර නාවික හමුදාවෙන් ඉල්ලා අස් වූ බව යෝෂිත රාජපක්ෂ තහවුරු කර සිටියි.
ඔහුගේ නව තනතුර භාර ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන් තුළ බොහෝ දෙනා ප්‍රශ්න කර සිටියේ ඔහු නාවික හමුදාවේ දැරූ තනතුරෙන් ඉල්ලා අස් වූයේ ද යන්නයි. එම විවේචනයන්ට පිළිතුරු ලබා දෙමින් අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ප්‍රකාශ කළේ නාවික හමුදාවෙන් තමන්ගේ ඉල්ලා අස්වීම ඔක්තෝම්බර් 10 වැනි දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් අනුමත කර ඇති බවයි. පසුව ඔහු ඔක්තෝම්බර් 15 වැනි දින අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස වැඩ භාර ගත් බවයි.
‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරන පරිදි, අවුරුදු 14ක සේවා කාලයෙන් අනතුරුව මීට මාස 8කට පෙර යෝෂිත රාජක්ෂ සිය ඉල්ලා අස්වීම ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති අතර එය පසුගිය ඔක්තෝම්බර් 10 වැනි දිනයේ දී අනුමත කර තිබෙනවා.
පසුව කැබිනට් අමාත්‍යවරුන් විසින් අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස ඔහුගේ පත්වීම ඔක්තෝම්බර් 12 වැනි දින අනුමත කර ඇති අතර ඒ අනුව, ඔහු විසින් ඔක්තෝම්බර් 15 වැනි දින එම තනතුරේ වැඩ භාර ගත් බව යෝෂිත රාජපක්ෂ සඳහන් කරයි.
එමෙන්ම, තමන් දේශපාලන වශයෙන් පලිගැනීම් වලට ලක් වී අවුරුදු 4ක කාලයක් වැඩ තහනමකට ලක්ව සිටි බවත්, එම කාලය තුළදී තම පියා සමග කටයුතු කිරීමෙන් අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස පත් වීමට අවශ්‍ය අත්දැකීමක් වු බවත් ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ, දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටිමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
“හමුදාවෙන් මාව 2016 දී මෙගේ වැඩ තහනම් වුණා. නඩුවක් නැතුවම මගේ වැඩ තහනමකට ලක්වුණා. ඉතින් ඒ අවදියේ දී මගේ පියාට මම වැඩ කළා. ඉතින් මට ඒ පුහුණුවත් එක්ක, අවුරුදු 4කට පස්සේ මට රස්සාව ලැබුණා. ඉතින් එතුමා හිතුවා මම එතැන සිටිය යුතුයි කියලා.”
මාධ්‍යවේදීන් – විරුද්ධත්වයක් සමාජයෙන් නෑ කියන එක ඔබ තුමා සිතනවා ද?
“අපි හොඳක් කරත් නරකක් කරත් සමාජයට කියන්න දේවල් තියෙනවා. ඒක හොඳ විදියටත් ගන්න ඕනේ නරක විදියටත් ගන්න පුළුවන්. ඒක සමාජය තීන්දු කරයි. මම වැඩකරන විදිය බලලා, මම සේවය කරන විදිය බලලා චෝදනා කරන්න. මම තාම වැඩ භාර ගෙන සතියක්වත් නෑනේ. මගෙන් අවුරුද්දකින් අහන්නකෝ ඕක”
