Advertise with Giraya
NEWS

බදියුදීන්ගේ පෙත්සම නොවැම්බර් 06ට කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම නොවැම්බර් මස 06 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඒ, එම පෙත්සම අද (20) කුමුදුනි වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා සඳහන් කළේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාට මේ ආකාරයෙන් උපදෙස් ලබා දීමට බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, තම සේවාදායකයා මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින අතර මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද නැද්ද යන කරුණ පිළිබඳව මෙතෙක් තමන්ට උපදෙස් ලැබී නොමැති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව, පෙත්සම නොවැම්බර් මස 6 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එදින පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය ස්ථාවරය දැනුම් දෙන ලෙස නියෝග කළා.

දින 6ක් පුරා පොලීසිය මඟ හරිමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඊයේ (19) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල – එබනයිසර් මාර්ගයේ පිහිටි මහල් නිවාසයක සැඟව සිටිය දී ය.

මෙහිදී ඔහුට ගත වූ දින කිහිපය තුළ සැගව සිටීමට ආධාර අනුබල දුන් වෛද්‍යවරියක් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, එම පිරිස අතර වෛද්‍යවරියගේ සැමියා සහ විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු ද සිටියා.

පසුව, මෙම පිරිස ඊයේ (19) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙන්ම සෙසු සැකකරුවන් එළඹෙන 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්, මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top