Advertise with Giraya
NEWS

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය අදින් ඇරඹේ

සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්‍රදානය අද (19) ඇරඹිණ. ප්‍රථම අදියර යටතේ පත්වීම් ලබා දීමට තෝරා ගෙන ඇති පිරිස 34,818 දෙනෙකු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පත්වීම්ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ලැබෙන අතර ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටී. පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීනට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.

රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබුවක් වන අතර එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තුමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

Giraya News Alerts

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටු දැකීම ආදායම් විධමතා හැකි තරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැගීම ඉන් අපේක්ෂා කෙරේ.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම මේ වසරේ ජනවාරි මස 20 වැනිදා ඇරඹිණ. භාෂා 03ම පළ කළ පුවත්පත් දැන්වීම් මඟින් සුදුස්සන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබීය. සියලු අයදුම්පත් ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරී වෙත යොමු කරන ලෙස දැනුම් දෙන ලදී. එසේ ලැබුණු අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ගෙන්වා ඉල්ලුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජන කොට අභ්‍යාසලාභීහු තෝරාගනු ලැබූහ. තෝරාගත් කිසිවෙකු හෝ රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් නොකරන පවුල්වල සාමාජිකයන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

හය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභින් PL – 01 ශ්‍රේණියේ ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තුමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලැබේ. බඳවාගනු ලබන පිරිස් රජයේ ගොවිපොළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වන ජීවි හා වන සංරක්ෂණ, වාර්මාර්ග ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා යොදවනු ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top