Advertise with Giraya
NEWS

මතුගම 17කට කොරෝනා.. ප්‍රදේශ 3ක් හුදකලා කරයි

මතුගම ප්‍රදේශයේ ඕවිටිගම හා බදුගම නව ජනපදය යන ප්‍රදේශවල පුද්ගලයින් 17 දෙනකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම ආසාදිතයින් කණ්ඩායම ඔක්තෝම්බර් 07 වැනි දින අනුරාධපුරයේ වන්දනා ගමනකට සහභාගී වූ පිරිසකි. ඒ අතරට, විහාරාධිපති හිමිනමක් සහ සාමණේර වහන්සේලා සිව්නමක් ද ඇතුළත් වේ. එමෙන්ම, කාන්තාවන් 11 දෙනෙකු ද ඒ අතර වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම පිරිස වන්දනා ගමන ගොස් ඇත්තේ පසුගිය දා කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ මතුගම බස් හිමිකරුට අයත් බස් රථයෙන්ය. තවද, මේ වන විට වෛරසය ආසාදිත බවට තහවුරු වූ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද එම වන්දනා ගමනට සහභාගී වී ඇත.

එමෙන්ම, අදාළ කොන්දොස්තරවරයා හා රියදුරු සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් බස් රථ කොන්දොස්තරවරයෙක්ට ද වෛරසය ආසාදනය වී ඇත. ඔහු අගලවත්ත, වලව්වත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම මතුගම කොළඹ බස් රථයක තවත් රියදුරෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව අද පස්වරුවේ තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු පළමුව වෛරසය ආසාදනය වූ බස් රථයේ හිමිකරු සමග ප්‍රිය සාදයකට සහභාගී වී ඇති බවය.

මේ වන විට, වෛරසය ආසාදනය වූ අදාළ 17 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයන් 150 කට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් 03 ක් යොදවා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top