Advertise with Giraya
NEWS

කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු 12ක් ඇතුළු 43ක් නිරෝධායනයට

කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඇයට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන්, මෙම කාන්තාව පළමුව ප්‍රතිකාර කිරීමට ඇතුළත් කළ රෝහලේ 15 හා 11 වාට්ටු දෙක සහ දැඩි සත්කාර ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කුලියාපිටිය රෝහලේ මේ වන විට ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට එලෙසින්ම ප‍්‍රතිකාර කිරීම දිගටම සිදුකරනු ලබන අතර නව රෝගීන් ඇතුළත් කිරීම මේ වනවිට නවතා ඇති බව වාර්තා වෙනවා.

මෙම රෝගීන්ට ප‍්‍රතිකාර කළ සාත්තු කළ මෙන්ව ඇප උපස්ථාන කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 43 දෙනෙකු මේ වන විට නිරෝධායනය කිරීමට නව නිරෝධායන මධ්‍යස්ථානයක් කුලියාපිටිය යාකරවත්ත ගුරු පුහුණු මධ්‍යස්ථානයේ ප‍්‍රතිස්ථාපනය කිරීමට මේ වනවිට කටයුතු සිදුකරන බව කුලියාපිටිය රෝහල් අධ්‍යක්‍ෂකවරයා සඳහන් කරයි.

ඉකුත් 12 වෙනිදා හෘද රෝගයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කරන ලද මෙම කාන්තාවට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 14 වෙනිදා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.

වෛද්‍යවරුන්ට පසුව ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම කාන්තාව කුලියාපිටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු හමුවූ විවාහ මංගල උත්සවයකට සහභාගිවී ඇති බවට තොරතුරු ලැබීමෙන් පසුව ඇයට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී එම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරයි.

-නෙත් නිවුස්-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top