ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5244ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එමෙන්ම, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් දැනට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 1789ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ (15) දිනයේ දී බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා පොකුරට අදාළව තවත් ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
එම වාර්තා වූ ආසාදිතයින් 68 දෙනා අතරින් 22ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් වන බවත් අනෙක් 46 දෙනා ඇඟළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත ආසාදිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ, ‘දෙරණ’ මාධ්‍ය ජාලයේ වැඩසටහනකට එක් වෙමින් ය.
එහිදී, ඊයේ (15) දිනයේ දී වාර්තා වූ ආසාදිතයින් පිළිබඳව යුද හමුදාපතිවරයා මෙලෙස තොරතුරු සඳහන් කළා.
“මේ අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 36 දෙනෙකුත්, ගම්පහ ප්‍රදේශයෙන් 14 දෙනෙකුත්, කටුනායක ප්‍රදේශයෙන් 9 දෙනෙකුත් විශේෂයෙන්ම වාර්තා වෙනවා. ඊට අමතරව සේනපුර, වත්තල කියන ප්‍රදේශවලින් එක්කෙනා බැගිනුත් කඳානෙන් තිදෙනෙකුත් කිරිඳිවැලින් හා කොළඹින් දෙදෙනෙකුත් ආදි වශයෙන් තමයි මේ හැට 8 දෙනා වාර්තා වෙන්නේ ඊයේ දිනයේ දී.”
තවද, ඊයේ (15) දිනයේ දී තිස්සමහාරාම ප්‍රදේශයෙන් හා කොළඹ ඩීන්ස් පාරෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සම්බන්ධයෙන් ද හමුදාපතිවරයා මෙහිදී අදහස් පළ කළේය.
“සාමාන්‍යයෙන් හමුවු වහාම හුදකලාවක් හැටියට පේනවා. දන්නේ නැති නිසා හමුවු වහාම එතැන ඉන්න අය කියන්නේ, ‘අනේ මම කොහෙවත් ගිහින් නෑ, මම ගම්පහ එක්කෙනා එක්ක සම්බන්ධවෙලාවත් නැහැ‘ කියලා. මේ අවස්ථාවේ දී අපි දැක්ක දෙයක් තමයි, ගොඩක් කට්ටියට තේරුමක් නැහැ ඔබ ආශ්‍රිතයා වෙන්නේ කොහොමද කියලා. ඔබවත් මමවත් දන්නේ නැහැ ඔබ ගමන් කළ ප්‍රදේශවල හමුවු අය සම්බන්ධයෙන්. ඒක නිසා මෙහෙම දෙයක් කියනවා. නමුත් ඇත්තටම ගත්තහම හැමතැනකම යම් කිසි ආශ්‍රිතයින් හමුවු බව බුද්ධි අංශවලින් අපි තේරුම් අරන් තියෙනවා. උදාහරණයක් වශයෙන් බව ඇහුවා මතුගම සම්බන්ධයෙන්. බස් රථයක් අයිති එක හිමිකරුවෙක් ඔහුට ආසාදනය වෙලා තියෙනවා, ඒ බස් රථයේ රියදුරුට හා කොන්දොස්රට ආසාදනය වෙලා තියෙනවා. ඒ බස් රථය විශේෂයෙන්ම කොළඹ රෝහල් වෙත පුද්ගලයින් රැගෙන විත් තියෙනවා. එහිදි හෙදියකට ආසාදනය වෙනවා. හෙදිය ජාතික රෝහලේ සේවයේ නියුතු කාන්තාවක්. ඒ හෙදියට යම් සම්බන්ධතාවයක් ඇති වෙන්න ඇති. මීට දින 3කට පෙර ජාතික රෝහලේ කිහිප දෙනෙක්ට ආසානය වුණා. කතාව හොයා ගෙන ගියාම මේකයි ඇත්ත තත්ත්වය.”
“තිස්සමහාරාමය ගත්තහම ඊයේ දවස වෙනකොට යාල ප්‍රදේශයේ ටුවර් ගයිඩ් කෙනෙක් කියලා වාර්තා වුණා.සොයා ගෙන යද්දි එයත් වාර්තා වුණා. තිස්සමහාරාමයේ මේ පුද්ගලයා විසින් තිබුණ මඟුලකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ හෝම්කමින් එකට ඇවිල්ලා තියෙනවා ගම්පහ ප්‍රදේශයේ කට්ටිය. ඒ ගම්පහ අය නැවත වතාවක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට සම්බන්ධයි. සමහර වෙලාවට තිස්සමහාරාමයේ කෙනාට කිසිසේත්ම දැනුමක් නැතිව ඇති ගම්පහින් ආවා කිව්වට. ඊයේ කොළඹ HNB එකේ ප්‍රශ්නයක් වුණා ඒකත් උඩුමහලක සිද්ධිය වුණේ. ඒ මහළ විතරක් හුදකලා කරලා තියෙනවනා. මේ දක්වා හමුවු සියලු දෙනාම යම්කිසි ආකාරයකින් සම්බන්ධයක් තියෙනවා. මේවා අවසානයේ නවතින්නේ මිනුවන්ගොඩ කම්හල හා සම්බන්ධ වෙලා.”
