Advertise with Giraya
NEWS

දිවුලපිටියේ පළමු ආසාදිත කාන්තාවට කලින් රෝග ලක්ෂණ තිබූ 33ක් කම්හලේ ඉඳලා

දිවුලපිටියෙන් වාර්තා වූ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ පළමු ආසාදිත කාන්තාව වාර්තා වීමට පෙර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම්හලේ රෝග ලක්ෂණ තිබූ සේවකයින් 33 දෙනෙකු සිට ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව, එම ඇඟළුම්හලේ සේවකයන්ට වෛරසය ආසාදනය වන්නට ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ 10ත් 20ත් අතර කාලයේ දී බවත් යුද හමුදාපතිවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මෙසේ පැවසුවා.

“බ්‍රැන්ඩික්ස් කම්හලේ ඔය කාන්තාව අසනීප වෙන්න කලින් කණ්ඩායමක් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණවලින් පෙළිලා තියෙනවා. තිස්තුන්දෙනකුගේ පමණ කණ්ඩායමක්. මේ ලක්ෂණ වාර්තා වෙලා තියෙන්නේ 21 වැනිදා වන විටයි. 15 වැනිදාත් එක්කෙනකු ඉඳලා තියෙනවා. ඒ සියලු තොරතුරු බැලුවාම දහයයි විස්සයි අතර කාලයේදී තමයි මේ අයට බෝවිය යුත්තේ.

අපි මුලින්ම දහදෙනකු ඉලක්ක කරගන්නවා. ඒ දහදෙනාගෙන් අපි එක්කෙනකු පස්සේ හඹාගෙන යද්දී මේක විහිදිලා ගොස් තිබුණා බන්ධනාගාරයට. බන්ධනාගාරයට ගිහිල්ලා අපි පරීක්ෂා කළාම ඉන් එහාට ඒක ගිය බවක් පෙනුණේ නැහැ. ඊට පස්සේ අපි තව මාර්ගයක ගියා. ඒ කාන්තාවක පස්සේ. ඒ මාර්ගයේ යද්දීත් ඒක යම්කිසි තැනක නැවැතිලා තිබුණා. ඊට පසුව තෙවැනි කාන්තාවටත් යනවා. දසදෙනා ගැනම හොඳට හොයලා බැලුවා. ඒ වගේම තවදුරටත් සොයා බලමින් සිටිනවා. නමුත් මේක ආවේ කොහොම ද කියල නිශ්චිතවම කියන්න තවම හැකියාව ලැබිලා නැහැ. යම් තැන්වලට ගොස් තිබෙනවා. නමුත් විශ්වාසයක් නැතිව ඇත්තම කොණ මේකයි කියන්න මම කැමැති නැහැ. ඒක සාධාරණ නැහැ.

මේ වනකොට දසදහස් පන්සියයක් නිරෝධායනය වෙනවා. තවත් දෙදහසකට නිරෝධායන පහසුකම් අලුතින් ඇති කළා. නිරෝධායන මධ්‍යස්ථාන අනූහයක් අද වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අපි පනස් එක්දහසක් නිරෝධායනය කර සමාජගත කරලා තියෙනවා. අපිට බැහැයි කියලා දෙයක් නැහැ. රටේ ජනතාව වෙනුවෙන් අපි ඒ වැඩේ හරියටම කරනවා. ජනාධිපතිතුමා ඒ උපදෙස් නියම වෙලාවටම හරියට දෙනවා. හමුදාව ඕනෑම ගණනක් නිරෝධායනය කරන්න සූදානම්.”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top