පසුගිය සැප්තැම්බර් මස 17 වන දින කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම්. හේමපාල ඒකනායකගේ නිවසට පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා ඊයේ (13) දිනයේ දි අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා පෙට්‍රල් පිරවූ ප්ලාස්ටික් බූලියක් වැඩ බලන මහේස්ත්‍රාත් වරයා ගේ නිවස ඉදිරිපිටට විසිකර අනතුරුව ගිනි දල්වන ලද පන්දමක් ඒ දෙසට විසිකර යතුරුපැදියකින් සහ මෝටර් රථයකින් පලාගොස් ඇති බව වාර්තා වේ. කෙසේ නමුත්, ගිනි දැල් වූ පන්දම පෙට්‍රල් විසුරුණු ස්ථානයට පතිත නොවී ඊට මදක් ඈතින් වැටීම හේතුවෙන් කිසිදු ගිනි ගැනීමක් සිදු නොවී ඇත.
අදාළ සිද්ධිය වන අවස්ථාවේ දී, වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ ඔහුගේ බිරිඳ ද නිවෙසේ සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා වෙත ලබා දුන් උපදෙස් අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකර තිබෙනවා.
ඒ අනුව, මෙම සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන කඩුවෙල කොතලාවල පදිංචි බී.ඩි. උදය ශාන්ත නමැත්තා ට අයත් නාවල කොස්වත්ත පාරේ පිහිටි පර්චස් 250 ප්‍රමාණයකින් යුත් ඉඩම සංවර්ධනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති අතර එහි නීති නිලධාරීනි ලෙස කටයුතු කරන වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ බිරිඳ ඊට අවසර නොදීම හේතුවෙන් ඊට උරණව සැකකරු විසින් වැඩබලන මහේස්ත්‍රාත්වරයා ව සහ ඔහුගේ බිරිඳ වන නීති නිලධාරිනිය නිවස තුළම ගිනි තබා ඝාතනය කිරීම සඳහා මෙම සිද්ධිය සිදු කරන්නට ඇති බව පොලිසිය කියයි.
ඒ සඳහා, ප්‍රධාන සැකකරුගේ ගෝලයෙකු වන බත්තරමුල්ල අරුක් පිටිය තලංගම දකුණ පදිංචි වයි.ඒ.ඩී. කිත්සිරි නැමැත්තාව සහභාගී කරගෙන තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දෙදෙනා අද (14) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
