අද (13) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. වර්තමානයේ පවතින ජීවන වියදම හා කොවිඩ් – 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව, අද (13) රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට ජනතාවට මිලට ගැනීමට හැකිවනු ඇති. මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ අතර පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර තිබෙනවා. එම නිසා පාරිභෝගිකයාට සතොස අලෙවිසල් වලින් සාධාරණ මිලකට පොල් ලබාගැනීමේ අවස්ථාව සැලසෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
