හොරණ රෝහලේ සේවය කරන හෙදියක් කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම රෝහලේ පාලනාධිකාරිය විසින් පැහැදිලි කිරීමක් සිදු කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, එම රෝහලේ රෝහල් අධිකාරී වෛද්‍ය අයන්ති ජයවර්ධන සඳහන් කළේ, දැනට කොවිඩ් ආසාදිතයෙක් ලෙස හොරණ රෝහලෙන් හඳුනාගෙන ඇත්තේ එම හෙදිය පමණක් බවයි.
“අපට දැන ගන්න ලැබුණා සමහර මාධ්‍යවලින් නිකුත් කරලා තියෙනවා, හොරණ මුලික රෝහලේ කොවිඩ් ආසාදිතයින් 5 දෙනෙක් කාර්ය මණ්ඩලයේ හඳුනාගෙන තියෙන බවත්, ඒ අතර වෛද්‍යවරු තිදෙනෙක් ද සිටින බවත්. මම කියන්න කැමති එම තොරතුරු සියල්ලම අසත්‍ය ප්‍රචාර. සත්‍ය තොරතුර වන්නේ, හොරණ මුලික රෝහලේ දැනට එක් හෙදියක් පමණයි කොවිඩ් 19 ආසාදිත තත්ත්වයෙන් පසුවෙන්නේ. හෙදිය පොසිටිව් වුණ සැණින් අපි පළමු ස්පර්ශකයින් හඳුනා ගැනීමේ කටයුතු කළා. ඒ අනුව 41 දෙනෙකු පළමු ස්පර්ශකයින් ලෙස හඳුනාගෙන පීසිආර් පරීක්ෂණවලට යවලා ඒ පරීක්ෂණ වාර්තා සියල්ල නෙගටිව් කියලා මේ වන විට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා හොරණ මුලික රෝහලේ වෙන කිසිදු ආසාදිතයෙක් දැනට හමුවෙලා නෑ.”
