පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ නිලධාරියෙකුගේ සමීපතමයෙකුට කොරෝනා වෛරසය වැළඳීම පිළිබඳව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) දින පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම අංශයේ අතිරේක ලේකම්වරිය විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ අතිරේක ලේකම් එච්.ඩි.එස්.මල්කාන්ති කරුණු පැහැදිලි කරමින් පැවසුවේ, ‘අප අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ දක්වා තහවුරු වී නැහැ. නමුත් එම සේවකයාගේ පවුලේ හිතවත් පවුලක අයෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවට දැනුම් දී තිබෙනවා. මේ වන විට එම සේවකයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී නැහැ.
පවතින වත්මන් තත්ත්වය මත අප අංශයට බාහිර පුද්ගලයින්ගේ පැමිණීම සිමා කොට පවතින අතර එහි සේවය කරනු ලබන නිලධාරීන් සිය දෛනික කටයුතු සිදුකරමින් පවතිනවා’ යනුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් අද (08) දින පැවසුවේ තමන් අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු අංශයට ගිය නමුත් තමන් ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවයි. වත්මන් කොවිඩ් තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවද යන්න පිළිබඳව ඔහු එහිදී විමසා සිටියා.
එයට පිළිතුරු දෙමින් කථානායකවරයා පැවසුවේ, පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ පවුලේ ඥාතියෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීම නිසා එලෙස පිටස්තර පුද්ගලයින්ට ඇතුල්වීමට ඉඩ ලබා නොදීමට තීරණය කළ බවයි.
