ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බල ප්‍රදේශයට අද (06) පස්වරු 06 සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීට අමතරව, මේ වනවිටත් දිවුලපිටිය පොලිස් බලප්‍රදේශය, මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශය හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම, මෙම නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වන කාලය අතරතුර දී සියලුම තැනැත්තන් නිවෙස්වල රැඳී සිටිය යුතු අතර එම කාලය තුළ දී මෙම ප්‍රදේශයන්ට ඇතුළු වීම හා පිටවීම සම්පුර්ණයෙන් තහනම් වේ.
එමෙන්ම, නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන වන ප්‍රදේශවල පිහිටා ඇති දුම්රිය ස්ථානවල මගීන් නැංවීම හෝ බැස්සවීම ද නොකළ යුතු බව දන්වයි.
මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලැබූ සියළුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුදෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුව ද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී ඇත.
එමෙන්ම, මේ වන විට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන අතර ඒ සඳහා සියලුදෙනා සූදානම් විය යුතු බව ද රජය විසින් දැනුම් දී තිබේ. මීට අදාළ උපදෙස් ඉදිරියේ දී අදාළ පවුල්වලට ලබා දෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
