කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රීතව කොරෝනා ආසාදිතයින් 651 වාර්තා වූ කොරෝනා පොකුරේ ආසාදිතයින් සියළුදෙනා සුවය ලබා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (06) දින ප්‍රකාශ කළා.
එම පොකුරට අදාළව ප්‍රතිකාර ගනිමින් සිටි අවසන් ආසාදිතයින් දෙදෙනාත් පූර්ණ සුවය ලැබීමෙන් එම පොකුරෙන් වාර්තා වූ සියළුම ආසාදිතයින් මේ අයුරින් සුවය ලබා තිබෙනවා.
කන්දකාඩු පොකුරට අදාළව පළමුව ආසාදිතයෙකු හමුවූයේ පසුගිය ජූලි මස 07 වන දින ඒ වැලිකඩ බන්ධනාගාරයේ දී වන අතර එහිදී අනාවරණය වූයේ ඔහු දින කිහිපයකට පෙර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට මාරු කර එවන ලද බවයි. ඒ අනුව සිදු කරන ලද විමර්ශනයන්වලින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති බව අනාවරණය විය.
දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3733ක් වන අතර ඒ අතරින් 3259 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.
ඔක්තෝම්බර් 03 වැනි දින දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව මේ වන විට තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර දැනට ඒ ආශ්‍රිතව ආසාදිතයින් 323 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 461ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
එමෙන්ම, දැනට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 7211 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
සම්බන්ධිත පුවත්
